නියඟය ඉවසාගත නොහැකි වූ තැන මවක් සිය දරුවන් වෙනුවෙන් ජීවිතය පරදුවට තබා ජලය සොයා කඹයක ආධාර ඇතිව අඩි 30ක් පමණ ගැඹුරු ළිඳකට බැස පාෙළාව හාරමින් සිටි අවස්ථාවක් 'අද'කැමරාවට හසුවිය.
මෙලෙස සිය දරුවන් වෙනුවෙන් ජලය සොයා ගියේ බිසෝබණ්ඩාරගම පදිංචි තිදරු මවක වන වයි.ජී. නිලූෂා (33) නමැත්තියයි.
මේ පිළිබඳව නිලූෂා අප සමග මෙසේ පැවසුවාය.
"මේ පළාතේ නියඟයත් එක්ක අපට හරිම අමාරුයි. කන්න හතරක් අපට හරියට ගොවිතැන් කරන්න බැරිවුණා. කුලී වැඩ කරලා තමයි ළමයි තුන්දෙනා ජීවත් කරන්නෙ. දැන් බොන්න වතුර නෑ. බොන වතුර සල්ලි දීලා ගන්න තියා කන්නෙත් බොහොම අමාරුවෙන්.
ළිංවල වතුර නෑ. අපේ ළිඳෙත් වතුර නෑ. එහෙම කියලා නිකං ඉන්න බෑ. දරුවො මැරිලා යයි. ඒ නිසා මහත්තයා කුලී වැඩට ගියාම මං අපේ ළිඳට බැහැලා ළිඳ හාරනවා. ළමයි ඉස්කෝලෙ යනවා. මේ වැඩේ කරන ගමන් ළිඳෙන් ගොඩවෙලා ළමයින්ට දවල්ට කන්න තියෙන දෙයක් උයලා ආපහු ළිඳට බැහැලා ළිඳ හාරනවා. මහත්තයා ආවට පස්සෙ ළිඳේ උනන වතුර අදිනවා"
අඩි 30 ක පමණ ගැඹුරු ළිඳකට තනිවම බැස මෙම කාර්යයේ යෙදීමේ අවදානම පිළිබඳ ඇයගෙන් විමසූ විට ඇය පැවසුවේ, "මොනව කරන්නද? මේ ලෝකෙ වතුර නැතුව ජීවත් වෙන්න කාටවත් බෑ. එහෙම එකේ වතුර නැතුව ළමයින්ට දුක් දෙන්නත් බෑ. අපේ කාලෙ ඉවරයි. නමුත් දරුවො එහෙම නෑ. ඒ නිසා මැරුණත් කමක් නෑ කියල හිතල තමයි මේ වැඩේ කරන්නෙ"යනුවෙනි.