යෝජිත නව ව්‍යවස්ථාව විරෝධය දක්වන බවට අස්ගිරි හා මල්වතු මහ නාහිමිවරුවන් විරුද්ධ බවට ඇතැම් මාධ්‍ය අද (19දා) වාර්තා කර තිබූ ප්‍රවෘත්තිය අසත්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
ඔහු පවසන්නේ මල්වතු මහ නාහිමියන්ගෙන් තමන් මේ පිළිබඳව විමසා සිටි බවත් උන්වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකළ බවත් සඳහන් කළ බවයි.
එසේම මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේදී දියවඩන නිලමේතුමාගෙන්ද කරුණු විමසන බව ඔහු පැවැසීය.
පාර්ලිමේන්තුවේදී අද (19දා) පැවැති වැඩසටහනකදී අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහනාහිමියන් ප්‍රකාශයක් කළා යැයි සදහන් කරමින්, එම නාහිමියන්ගේ ඡායාරූපය සහිතව සියලුම පුවත්පත් සහ අනෙකුත් මාධ්‍යවල ප්රවෘත්ති පළකර තිබෙන බව මම අද දුටුවා. නමුත් ඒ පිළිබදව විමසීමට මම මල්වතු මහනාහිමියන් සම්බන්ධ කර ගත් අවස්ථාවේ දී, එවැනි ප්‍රකාශයක් කිරීමට තබා තමන් වහන්සේ මේ දිනවල දිවයිනේවත් නොමැති බව නාහිමියන් වහන්සේ මා සමග පවසා සිටියා. එසේ නම් එවැනි ප්‍රවෘත්තියක් හෝ ඡායාරූපයක් මාධ්‍ය තුළ පළවන්නේ කෙසේද?
එය මාධ්‍ය මගින් ජනතාව නොමග යැවීමක් නොවේ ද? මීට පෙර අවස්ථාවක ද මල්වතු මහනාහිමියන් වහන්සේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් උන්වහන්සේගේ මතය ඉතා හොදින් හෙළිකර තිබුණා. තවමත් ව්‍යවස්ථාවක් නිර්මාණය කර නොමැති බවත්, එය පවතින්නේ සාකච්ඡා මට්ටමේ බවත්, මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යවරයා වන මමත් පවසන අදහස් පිළිගන්නා බව ද මහ නාහිමියන් එහිදී පවසා තිබුණා.
නමුත් මෙම ප්‍රවෘත්තිය දැකීමෙන් පසු මම මහ නාහිමියන් සම්බන්ධ කර ගැනීමට කල්පනා කළා. සත්‍යය තත්වය මට අවබෝධ වුණේ එවිටයි. එම ප්රවෘත්ති සාකච්ඡාව කැදවූයේ මහනුවර දියවඩන නිලමේ නම්, එම ප්‍රවෘත්තිය සමග පළකළ යුත්තේ දියවඩන නිලමේගේ ඡායාරූපය මිස මල්වතු මහනාහිමියන්ගේ ඡායාරූපය නොවේ. ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් දියඩවන නිලමේ තුමාගෙන් විමසීමට මම බලාපොරොත්තු වෙනවා.
මල්වතු මහනාහිමියන් පක්ෂව හෝ විපක්ෂව අදහසක් පලකරනවා නම් එය ඔබේ මාධ්‍ය තුල පළකිරීමේ කිසිදු ගැටළුවක් නැහැ. නමුත් උන් වහන්සේ එවැනි ප්‍රකාශයක් නොකර, දිවයිනේවත් නොමැති අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක් පළකරන්නේ ඇයි දැයි මම මේ රටේ ජනමාධ්‍ය ආයතවලින් විමසීමට කැමතියි.
මාධ්‍ය ආයතන කැඳවා ඒ ආයතනවල මාධ්‍යවේදීන් ඉදිරිපිට මේ පිළිබඳව විමසන විට ඒ වෙනුවෙන් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? කිසිවෙකුටත් සෘජු පිළිතුරක් ලබාදුන්නේ නැහැ. ඔබට හැකි නම්, මගේ මෙම ප්‍රශ්න කිරීම අද දහවල් වන විට ඔබේ මාධ්‍ය තුළ පළ කරන්න යැයි මම ඉල්ලා සිටිනවා.
මල්වතු මහ නාහිමියන් මේ මොහොතේ වැඩසිටින්නේ කොහේදැයි ඔබේ මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන් විමසා දැනුම් දෙන්න. මෙවැනි අසත්‍ය ප්රවෘත්ති පළ කිරීමෙන් රටට සිදු වන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් මගේ ප්‍රකාශය ඔබ පුවත්පත් ආයතන පළ කරන්නේ පළමු පිටුවේ ද, නැතිනම් අවසන් පිටුවේ ද? යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයන්ගේ අදහස් ඔබ ප්‍රචාරය කරනවා නම් රටේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඒ සම්බන්ධයෙන් වන මගේ අදහසත් ඔබ මාධ්‍ය මගින් ඉඩ ලබාදිය යුතුයි.
මල්වතු මහනාහිමියන් රටේ වැඩ නොසිටින අවස්ථාවකත් ඔබ මෙවැනි අසත්‍ය ප්‍රවෘත්තියක්, ප්‍රධාන පුවතක් ලෙස පළ කරා නම් රට තුළ සිටින මගේ අදහසත් ඔබ ආයතනය තුළ පළ කළ යුත්තේ ප්‍රධාන පුවතක් ලෙස නොවේ ද? මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී මා දැක්වූ අදහස් ගුවන් විදුලි සහ රූපවාහිනී නාළිකාවලත් විකෘති කිරීමකින් තොරව පළ කරන බවට ඔබට පොරොන්දු විය හැකිද?”