මාළඹේ තොරතුරු තාක්ෂණ විදුහලේ සිසුවකු පැහැරගෙන ගොස් පහර දෙන ලදැයි චෝදනා ලැබ සිටින හිටපු නියෝඡ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ බිරිඳ, පුතා සහ කොළඹ අපරාධ කොට්ඨාශයේ රාජකාරි කළ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට එරෙහි කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි රණවක ගුණතිලක මහත්මිය අධිචෝදනා පත්‍ර බාරදුන්නේය. එසේම මෙම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 06 වැනිදා සිට දිනපතා විභාග කිරීමටත් අද (19දා) ඇය තීරණය කළාය.
බම්බලපිටියේ මොහොමඞ් සියාම් ඝාතන චෝදනාවට වරදකරුව මරණීය දඬුවම් නියම වී සිටින හිටපු නියෝඡ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා, ඔහුගේ පුතා වන රවිඳු වාස් ගුණවර්ධන නමැත්තා හැර සෙසු සියළුම විත්තිකරුවන් රුපියල් 50,000/- බැගින් වන මුදල් ඇප හා රුපියල් ලක්ෂ පහ බැගින් වටිනා ශරීර ඇප මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරිය විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කළාය.