මන්දකට හසු වී මියගොස් සිටි දිවියෙකුගේ සිරුරක් නෝවුඩ් වතු යායේ ඉහළ කොටසේ තණබිමක තිබිදී ඊයේ (26දා) සොයා ගත් බව නොර්වුඩ් පොලීසිය පවසයි.
මියගිය දිවියා අඩි 4ක් දිගකින් හා අඩි 2 ½ පමණ උසකින් යුක්ත අවුරුදු 6 පමණ වයසැති මෑතකදී පැටවුන් බිහිකළ කොටි දේනුවක් බව නල්ලතන්නිය වනජීවී නිලධාරීන් පවසයි.
තේ වතු ආශ්‍රිතව සැරිසරන ශ්‍රි ලංකාව පමණක් ආවේණික වු මෙම දිවි විශේෂය ශ්‍රි ලංකා කොටියා යනුවෙන් ද හඳුන්වනු ලබන අතර වතු යායේ මුරකරු විසින් මන්දකට හසු වී මියගොස් සිටි දිවියාගේ සිරුර දැක ඒ පිළිබඳව නොර්වුඩ් පොලිසියට දැනුම් දී ඇති අතර නොර්වුඩ් පොලීසිය නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබේ.
මියගිය දිවියා මන්දකට හසුවීමෙන් පසු ඔහුගේ හිසට පහර දී දත් සහ නියපොතු ගලවා සිරුර තිබු ස්ථානයට ගෙනැවිත් දමන්නට ඇති බව වනජීවී නිලධාරින් පැවසීය.
දිවියා ඝාතනය කළ සැකරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර දිවියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා උඩවලව ජාතික වනජීවී පශු වෛද්‍ය රෝහල වෙත යොමු කර තිබේ.