මධ්‍යම අධිවේගී මාර්ගය සඳහා කැබිනට් අනුමැතිය ලද සමාගම මුලින් ඉදිරිපත් කළ මිලට වඩා බිලියන 25 ක් අඩුවෙන් එම ව්‍යාපෘතිය ලබා දීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. මධ්‍යම අධිවේගය පිළිබඳව පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසා සිටියේය.
“ කොන්ත්‍රාත්තුව ලබා දුන් ජපානයේ ටයිසෙයි ආයතනය මුලින්ම ඉදිරිපත් කළ මිල ගණන රුපියල් බිලියන 159 (159,659,226,919.24) ක්. නමුත් ජපාන රජයේ සහ අපේ මහාමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය රුපියල් බිලියන 134 ක් දක්වා (134,905,155,000.00) දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.” යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.
“මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ආරම්භ වන්නේ පොතුහැරින්. අවසන් වන්නේ ගලගෙදරින්. මෙය අඩි 300 ක පමණ උසක සිට අඩි 1200 ක පමණ උසක් දක්වා දිවෙන කඳු මාර්ගයක්. මේ මාර්ගය සඳහා බිංගෙවල් තුනක් ඉදි කළ යුතු වෙනවා. කොන්ක්‍රීට් කණු මතින් ඉහළින් ඉදිවෙන මාර්ග කොටස් තියෙනවා. ඉහළින් ඉදිවන මාර්ගයන්හි සම්පූර්ණ දිග කිලෝ මීටර 5.05 ක්.
ඒ වගේම ඉහළ උසකින් ඉදිවන දීර්ඝ පාලම් 14 කුත් මේ මාර්ගයට අයත් වනවා. ඒ වගේම පාරිසරික හානි අවම කර ගැනීම සඳහාත්, විශේෂ ක්‍රියාමාර්ග ගණනාවක් මාර්ගය ඉදි කිරීමේදී සිදු කළ යුතු වෙනවා.
මෙතෙක් අපේ රටේ අධිවේගී මාර්ග ඉදිවුණේ සමතලා භූමිවලයි. දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී කොන්ක්‍රීට් කණු මත ඉදි කළ යුතු ස්ථානයන්හි එසේ කළේ නැහැ. පස් පුරවා මාර්ගය ඉදි කළා. ඒ නිසා පාරිසරික ප්‍රශ්න ගණනාවක් ඇති වූ බව අපි දන්නවා. නුවර අධිවේගී මාර්ගය අපේ රටේ මෙතෙක් ඉදිවුණු අනෙක් අධිවේගී මාර්ග වලට වඩා සංකීර්ණයි. මගෙන් ප්‍රශ්න කරල තිබුණ එක කිලෝමීටරයක් සඳහා වැය වන මිල වැඩි ඇයි කියලා. මහා මාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය ඊට හේතු දක්වා තිබුණා.”