ශ්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන තහනම් කිරීමට යුරෝපා කොමිසම තීරණය කර ඇති අතර, ශ්‍රී ලංකාව ඒ වෙනුවෙන් දක්වන ප්‍රතිචාරය අනුව එය ලබන වසරේ ජනවාරියේ සිට ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් ප්‍රකාශයට පත්කර ඇති වාර්තාවක දැක්වෙයි.
පාලනයකින් තොර හා නීති විරෝධී මසුන් මැරීම සැලකිය යුතු මට්ටමකින් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තීරණය ගෙන ඇති බවද එම කොමිසම පවසයි.
නීති විරෝධී මසුන් මැරීම පාලනය කිරීම සඳහා වන නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම, ගැඹුරු මුහුදේ කෙරෙන මසුන් මැරීමේ කටයුතුවලට අවශ්‍ය ප්‍රමාණයට සම්බාධක ක්‍රියාත්මක නොකිරීම හා ජාත්‍යන්තර සහ කලාපීය ධීවර නීති නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීම යන කරුණු එම වාර්තාවේ දැක්වෙන අතර, ලබන වසරේ ජනවාරි මස මැද භාගයේ සිට මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව පැවසෙයි.
“ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග පැමිණෙන ධීවර යාත්‍රාවලට අද සිට තව මාස තුනකට පසුව යුරෝපා වෙළෙඳ පොළට ඇතුළු වීමට තහනම් පැනවෙනවා” යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි පවසා තිබේ.
බෙලීසය, ෆීජි, පැනමා, ටෝගෝ, වනුවාටු සහ ශ්‍රී ලංකාව යන රටවලට ඉහත කී කරුණු සම්බන්ධයෙන් මීට පෙර යුරෝපා කොමිසම අනතුරු හැඟවීමක් කළ අතර, ශ්‍රී ලංකාව හැර සෙසු රටවල් සියල්ල නීති විරෝධී මත්ස්‍ය කර්මාන්තය මැඩපැවැත්වීම සඳහා ගත් පියවරයන්හි සැලකිය යුතු මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කිරීම හේතුවෙන් යුරෝපා කොමිසම් ලැයිස්තුවෙන් එම රටවල් ඉවත් වී තිබේ.
“නීති විරෝධී මසුන් මැරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ගැන මේ රටවල් පහ අපේ ඇගයීමට ලක් වෙනවා. නමුත් අවාසනාවකට මට ඒ දේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්න බැහැ. අපි මේ ගත්ත තීරණය ශ්‍රී ලංකාවට මේ සම්බන්ධයෙන් නැවත සිතා බලන්න අවස්ථාවක් ලබා දේවි’ යනුවෙන් යුරෝපා කොමිසමේ ධීවර හා සාගර සම්පත් කටයුතු භාර කොමසාරිස්වරිය මරියා දමනකි වැඩිදුරටත් පවසා තිබේ.