යාපනය සරසවියේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකු අද (21දා) අලුයම යාපනය කොකුවිල් කුලප්පිඩ්ඩි මන්සන්ධියේදී ඔවුන් ගමන් කළ යතුරු පැදිය අනතුරට ලක්වීමෙන් මියගොස් ඇති බව යාපනය පොලීසිය පවසයි.
එම සිසුන් දෙදෙනා ගමන් කළ යතුරු පැදිය තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.
යාපනය සරසවියේ කලා අංශයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ මොවුන් චුන්කම්හි පිහිටි එක් සිසුවෙකුගේ නිවසක තිබූ සාදයකට සහභාගී වීමෙන් අනතුරුව අනෙක් සිසුවා නේවාසිකාගාරයට ඇරලීම සඳහා යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ ඔවුන් මත්පැන් පානය කොට සිට ඇති බවත් යතුරුපැදියේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ සිසුන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇත.
යාපනය පොලීසිය අනතුර පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.