ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජනතා විමුක්ති පෙරමුණට අයත් සංගමය වරාය විනාශ කරන බවත් ඒ අය යැපෙන්නේ කුමන පාර්ශ්වයන්ගෙන්ද යන්න ගැටලුවක් බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවැසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මාධ්‍ය අංශයේ කාර්යාලයට සීල් තබා ඇති බවට පළවන වාර්තා පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කර තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.
“ මම යුනියන් වලට උත්තර දෙන්න ඕන නෑ. මට ඔය මඩ වදින්නේ නෑ. අද වෙනකම් ජේ.වී.පී. යුනියන් එකක් බුකී ව්‍යාපාරයක් ගැන කතාකරලා නෑ. ජේ.වී.පී. එක යැපෙන්නේ කාගෙන්ද කියලා තේරුම්ගන්න. සංගම්වලට මොකටද ක්‍රිකට් බෝඩ් එකේ නිලවරණයක්. මේ සංගමය තනිකරම වරාය විනාශ කරන සංගමයක්. කවදාවත් හොඳක් කියන්නේ නෑ.
ඒ අය පහුගිය කාලේ කිසිම දෙයක් කාතා කළේ නෑ. පහුගිය කාලේ ඒ අයව හොඳට බලාගෙන තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ අය යැපෙන්නේ මොන වගේ අයගෙන්ද කියන එකත් මට ලොකු ප්‍රශ්නයක්. ජේ.වී.පී. යුනියන් එක කවදාවත් වරාය ගැන කතා කරලා නෑ. ඒක නමට ජේ.වී.පී. පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ මහත්තයට කිසිම කරදරයක් නොකර යැපෙන සංගමයක්.මේ අය පට්ටපල් බොරු කියනවා” යැයි පැවැසීය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාසයේ නියෝජ්‍ය ප්‍රධාන කළමනාකරු වන නලින් අපෝන්සු මහතාගේ අත්සනින් යුතු නිවේදනයකින් දැක්වුණේ හම්බන්තොට වරායට වතුර පිරවීමේ ජාතික උත්සවයේ සිදුව ඇති මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන බවයි. එම උත්සවයේ ප්‍රවර්ධන හා කලාත්මක නිර්මාණ වරාය ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා කොට්ඨාසයේ මගින් සිදුකර තිබේ. නමුත් ඒ සඳහා ටෙන්ඩර් ක්‍රියාවලිය අනුගමනය කර නැති බවත් එහෙයින් එම කොට්ඨාසයේ වැදගත් ලිපි ලේඛන තමන් භාරයට ගන්නා ලෙස වරාය අභ්‍යන්තර විගණන අංශයට උපදෙස් දී ඇති බවයි.
වරාය අධිකාරිය නිකුත් කළ නිවේදනය