තමන්ගේ නම සියල්ලන්ගේම මතකයේ රැඳෙන ආකාරයේ යමක් කරන්නේ යැයි ඔහු පැවසූ බවත්, ඔහු වහා කෝපයට පත්වන මානසික ආතතියකින් පෙළුණු අයෙකුත් බවත්, පුද්ගලයන් 150 දෙනෙකු සමග අනතුරට ලක්කළ 4U9525 ජර්මන්වින්ග්ස් යානයේ සහාය නියමු ලුබිට්ස්ගේ පෙම්වතිය පවසා තිබේ.
ගුවන්සේවිකාවක් වන ඇය ජර්මානු පුවත්පතකට පවසා ඇත්තේ ලුබිට්ස් මානසික ආතතයකින් පසුවූ අයෙකු බවයි. ක්ෂණිකව කෝප ගැන්වෙන ඔහු, ඇතැම් අවස්ථාවල කලහකාරී ලෙස ක්‍රියාකළ බවද ඇය පවසා ඇත.
එමෙන්ම තමන්ගේ මානසික තත්ත්වය අන් අයගෙන්සඟවා සිටීමට ඔහුට හොඳ හැකියාවක් තිබූ බවද පවසන ඇය, ඇතැම් අවස්ථාවල රාත්‍රී නින්දෙන් අවදිවන ඔහු ‘අපේ ගුවන් යානය කඩා වැටෙනවා’ යනුවෙන් මහ හඬින් කෑ ගසන බවද පවසා තිබේ.
මේ තත්ත්වය නිසාම ඔහු කවදා හෝ යානයේ ප්‍රධාන නියමුවා වේදැයි යන බියෙන් තමා පසුවූ බවත් ඇය මාධ්‍යයට අනාවරණය කර ඇත.