මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මංගල අයවැය සහ යහපාලන ආණ්ඩුවේ තෙවැනි අයවැය අද (09දා) පස්වරුවේ මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
2018 වසර සඳහා වන සමස්ත වියදම ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 3982කි.
2018 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන මෙවර අයවැය මගින් පොදු ජනතාවට මෙන්ම සමස්ත අංශ වෙනුවෙන් සහන රැසක් ලබාදීම වෙනුවෙන් අවධානය යොමුව ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
2018 වසර සඳහා වන අයවැය කතාව අද (09දා) ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (10දා) සිට එළඹෙන 16 වැනිදා දක්වා පුරා දින හයක් අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවැනි වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 16 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
අයවැය තෙවැනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය එළඹෙන 17 වැනිදා සිට දෙසැම්බර් 09 වැනිදා දක්වා පෙරවරු 09.30 සිට රාත්‍රී 07.30 දක්වා පැවැත්වේ.මෙහිදී ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාද කෙරෙන අතර, කාරක සභා අවස්ථාවේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 වැනිදා පස්වරුවේ සිදුකිරීමට නියමිය.
අයවැය ඉදිරිපත් කරන අද දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ආරාධිතයන්ට පමණක් සීමාකර ඇති අතර, විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වේ.