පුවත්පතක පළවූ මංගල දැන්වීමක් අනුව කතාකර නිවසට ආ මුල් දවසේම මනාළියගේ බැංකු ගිණුමෙන් රුපියල් 552,000 ක මුදලක් වංචා සහගතව ලබාගෙන පලා ගිය බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මස 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කළුතර ප්රධාන මහේස්ත්රාත් උදේශ් රණතුංග මහතා නියම කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කුලී පදනම මත බණ්ඩාරවෙල පදිංචිව සිටින දිලිප් ප්රසාද් සිරිවර්ධන නම් අයෙකි.
තමා ප්රංශයේ පදිංචි ඉංජිනේරුවෙකු බව පවසා මනාළිය බැලීමට නවීන පන්නයේ මෝටර් රථයකින් පැමිණ ඇති මොහු මනාළියව උපක්රමශීලීව තම රථයේ නංවාගෙන ගොස් ඇත. පසුව විවාහකරගත් පසු ඇයව ප්රංශයට කැඳවාගෙන යෑම සඳහා වීසාවලට යැයි කියමින් ඇගේ බැංකු ගිණුමින් රුපියල් 552,000 ක මුදලක් ගෙන පලා ගොස් ඇතැයි පොලීසිය අධිකරණයට වාර්තා කර තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකයට 2015 මාර්තු මස 30 වැනි දින පැමිණිලි කළද පැමිණිලිකාරිය දැන සිටියේ මොහුගේ නම හා දුරකථන අංකය පමණි.
මේ පිළිබඳව අවධානයෙන් සිටි පොලිස් නිලධාරීන් මොහු එවැනිම සිද්ධියකට හම්බන්තොට අධිකරණයට ගෙන එන බවට ලද තොරතුරු අනුව එහි ගොස් සැකකරුව හඳුනාගෙන ඇත.
සැකකරු විවාහ දෙකක් සිදුකරගෙන සිටින අයෙකු බවත්, එම විවාහ දෙකෙන් දරුවන් සිවුදෙනෙකු සිටින බවත්, මේ ආකාරයෙන් තරුණියන් රැවටීම් රැසක් සිදුකර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කලුතර එස්. තන්ත්රීආරච්චි