භූමිබෝල් අදුල්යාදේජ් රජුට අවසන් ගෞරවය දැක්වීම සඳහා තායිලන්ත ජාතිකයන් දහස් ගණනින් පෝලිම් සැදී බැංකොක් නුවර රජ මාලිගය ඉදිරිපිට රැස්ව සිටින බව විදෙස් වාර්තා පවසයි.
පසුගිය බ්‍රහස්පතින්දා අභාවප්‍රාප්ත වූ භූමිබෝල් අදුල්යාදේජ් රජු මෑත යුගයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ රජතුමා ලෙස සැලකුණු අතර, මියයන විට එතුමා 88 වැනි වියෙහි පසුවිය.
මේ වනවිට රජුගේ දේහය රජ මාලිගයේ එමරල්ඩ් බෞද්ධ විහාර සංකීරණයේ තැන්පත් කර ඇති අතර, එය මධ්‍යම බැංකොක් නුවර පිහිටා තිබේ.
මේ අතර, රජු වෙනුවෙන් ගෞරව දැක්වීමට පැමිණෙන දහස් ගණන් ජනයා, රජ මාලිගයේ ඇති සිහිවටන පොතේ රජු වෙනුවෙන් ගෞරවය දක්වා අත්සනක් යෙදීමටද අමතක නොකරන බවද විදෙස් වාර්තා පවසයි.
රජුගේ වියෝවෙන් පසුව කම්පනයකට පත්ව සිටින තායිලන්ත ජනයා කළු වර්ණයෙන් සැරසී සිටින අතර, මේ හේතුව නිසාම එරට කළු වර්ණයෙන් යුතු ඇඳුම්වල හිඟයක් පවතින බවට මතයන් පවතින බවද කියැවෙයි.
එමෙන්ම, ගම්බද පළාත්වල සිට රජු වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට පැමිණෙන ජනතාව වෙත නොමිලේ බස් රථ ප්‍රවාහන සේවයක් යොදවා ඇති බවද විදෙස් වාර්තා පවසයි.
අභාවප්‍රාප්ත භූමිබෝල් අදුල්යාදේජ් රජුගේ පුත් මහා වජිරාලෝන්ග්කෝර්න් කුමරු නිල වශයෙන් රාජ්‍යත්වය භාරගන්නා තුරු සිහසුන රාජ්යාධිකාරියක් යටතේ පවතිනු ඇති අතර, මෙම රාජ්යාධිකාරිය හිටපු අගමැති ප්‍රේම් තින්සුලානෝන්දාගේ සභාපතීත්වයෙන් යුතු විශේෂ මණ්ඩලයකින් මෙහෙයවෙන්නක් බව එරට නියෝජ්‍ය අගමැති විස්සනු ක්රේ-න්ගාම් පවසා සිටියේය.
මහා වජිරාලෝන්ග්කෝර්න් කුමරු සිහසුන භාරගැනීම කල්දමා ඇත්තේ තමාට සිය පිය රජතුමා වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමට වැඩි කාලයක් අවශ්‍ය බව පවසමිනි.