ථෙරවාදී භික්ෂු කතිකාවත නමැති පනත් කෙටුම්පත යෝජනා සහ අවශ්‍යතා අනුව සුදුසු වෙනස්කම් සිදුකරමින් සම්මත කරගත යුත්තක් බවත්, එය හදිසි පනතක් ලෙස නොව මහා සංඝරත්නයේ ආශීර්වාදය මත සම්මත කරගැනීමට කටයුතු කරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙසේ අදහස් දක්වා සිටියේ අද (17දා) පස්වරුවේ බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.
බෞද්ධ දර්ශනයේ ආභාසය ලබන නව ශ්‍රී ලාංකීය ජාතියක් ගොඩනැගීමට අවශ්‍ය පදනම සකසා ගනිමින් යහපත් රාජ්‍යකරණයක් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ආරම්භ කර තිබේ.
මෙහිදී, වැඩිදුරටත් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ, පරිසරය, සමාජ සංස්කෘතිය යන කරුණු සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනයෙන් ලබාගත හැකි ආභාසයන් ඉතා පුළුල් බවයි. එමෙන්ම, ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා එම ඉගැන්වීම් ප්‍රායෝගිකව අවශ්‍ය බවත් ජනාධිපතිවරයා පවසා තිබේ.
ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සිය සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනික යන කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා රාජ්‍යකරණයේදී තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන බුද්ධිමය දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරය වෙයි.
දිවයිනේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ව්‍යක්ත, විශාරද භික්ෂූන් වහන්සෙලා 29 දෙනෙක් මෙහි මූල මණ්ඩලය ලෙස ක්‍රියා කරයි. භික්ෂුව සහ භික්ෂුවගේ කාර්යභාරය සවිබල ගැන්වීම, භික්ෂුවට අදාළ උරුමය සහ ඥානය ප්‍රතිසංධානය කිරීම, ජාතික සහ ආගමික සංහිඳියාව විෂයයෙහි බෞද්ධයාගේ භූමිකාව ගොඩනැගීම, ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික සහ පරිසරය තිරසාර පදනමක් මත සවිබල ගැන්වීම, සෞධ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමෙහිලා බෞද්ධ මෙහෙවර සකස් කිරීම, බෞද්ධ සාරධර්ම මත මානව සම්පත් කළමනාකරණය කිරීම, මානව සංවර්ධනය විෂයයෙහි බෞද්ධ අධ්‍යාපනයේ දායකත්වය ලබාදීම, රාජ්‍යකරණය හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයෙහිලා බෞද්ධ ඉගැන්වීම්වල උපයෝගීතාව තහවුරු කිරීම ජාතික බුද්ධි මණ්ඩලය විසින් සිදුකෙරෙනු ඇත.