ශ්‍රී ලංකාව පුරා භාෂා අධ්යයනාගාර 16 ක් පිහිටුවීමට ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා පිළිබඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එක් භාෂා අධ්‍යයනාගාරයක් සඳහා රුපියල් මිලියන 10 මුදලක් ආයෝජනය කරන අතර, නවීනතම භාෂා ඉගැන්වීම් උපකරණ සහ තාක්ෂණයද යොදාගැනීමටද, භාෂාවන් ඉගැන්වීම සඳහා නවතම ශිල්ප ක්‍රම යොදාගනිමින් වඩාත් ශිෂ්‍ය කේන්ද්‍රීය වූ ක්‍රමවේදයක් අනුගමනය කිරීමටද සැලසුම්කර ඇත.
පවත්නා භාෂාමය පරතරය පිරවීම සඳහාත්,ඕනෑම ආයතනයකදී තමන් කැමති භාෂාවකින් සේවාවන් ලබාගැනීම සඳහාත් පුරවැසියන්ට ඉඩසැලසීමට හැකි රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියක් ත්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර, එහි එක් පියවරක් ලෙස භාෂා අධ්යයනාගාර පිහිටුවීමට නියමිතය.
මෙම භාෂා අධ්යයනාගාර හරහා ලංකාව තුළ වඩා පුළුල් සංවාදයක් ප්‍රවර්ධනය කිරීමටත්, සියලු පුරවැසියන් උදෙසා ගුණාත්මක රාජ්‍ය සේවාවක් සැපයීමටත් මේහරහා බලාපොරොත්තු වන බවද අමාත්‍යාංශය සඳහන් කළේය.
ශ්‍රීලංකා භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මූලික අඩිතාලම ලෙස රාජගිරිය භාෂා දෙපාර්තමේන්තුවෙහි සහ අගලවත්ත ජාතික භාෂා හා අධ්‍යාපන පුහුණු ආයතනයෙහි මේවනවිට භාෂා අධ්යයනාගාර පිහිටුවා ඇතිබවත්, ඒසඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ(UNDP) සහාය ලබාගන්නා බවත් අමාත්‍යාංශය ප්‍රකාශකළේය.
නීතිය බලාත්මක කිරීම, යුක්තිය වෙත ප්‍රවේශය සහ සමාජ ඒකාබද්ධතාව ශක්තිමත් කිරීම නම් වූ ව්‍යාපෘතිය යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) මේසඳහා සම්බන්ධ වී සිටින බව අද කළ විමසීමකදී එහි වැඩ බලන නේවාසික නියෝජිත ලොවිටා මහත්මිය ප්‍රකාශකළාය.