මිනිස් පරිභෝජනයට නුසුදුසු වර්ණකයක් යෙදූ තෙල් වර්ගයක් නිෂ්පාදනය කොට පිරිසිදු එළඟිතෙල් නමින් ලේබල් කොට බෙදාහැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවූ පුද්ගලයෙකුට රුපියල් 30000. 00 ක දඩ මුදලක් නියම කළ බදුල්ල මහේස්ත්‍රාත් නයන්ත සමරතුංග මහතා, ඒ වන විට බෙදාහැර තිබූ අදාළ සියළු නිෂ්පාදන වෙළඳලපාළෙන් ඉවත්කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත විනාශ කරන ලෙසද විත්තිකරුට නියම කළේය.
වී ගබඩාව අසළ, විශාකා මාවත, බණ්ඩාරවෙල යන ලිපිනයේ ඩබ්.එම්. මහින්ද චින්තක නම් පුද්ගලයෙකුට මෙසේ දඩ නියම කෙරුණු අතර එළඟිතෙල් සඳහා ප්‍රමිතියක් නියම කර තිබියදී ඊට පටහැනිව අවසරලත් ආහාර වර්ණකයක් නොවන, රෙදි වර්ණ ගැන්වීම පිණිස භාවිතා කරන වර්ණකයක් වන, පිළිකාකාරකයක් ලෙසින්ද සැළකෙන මෙතනිල් යෙලෝ නම් රසායනිකය යොදා ව්‍යාජ ලෙස සකසන ලද තෙල් වර්ගයක් පිරිසිදු එළඟිතෙල් නමින් ලේබල් කොට විකිණීම පිණිස බෙදාහැරීමේ වරදට ඔහුට මෙසේ දඩ නියම විය.
හාලිඇල උඩුවර ප්‍රදේශයේ වෙළඳසැළකින් අත් අඩංගුවට ගනුලැබූ මෙම තෙල් වර්ගය රජයේ රස පරීක්ෂකවරයා වෙතින් පරීක්ෂා කොට තහවුරු කර ගැනීමෙන් අනතුරුව අදාළ සැකකරුට එරෙහිව නඩු පවරා තිබූ අතර හාලිඇල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොට්ඨාසයේ නෙළුව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්.එම්.ප්‍රදීප් ඉන්දික සහ හාලිඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්.එම්.ආර්.රවීන්ද්‍ර ජයවර්ධන යන මහත්වරුන් විසින් අදාළ වැටලීම සිදුකර සැකකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
හාලිඇල- විජේරත්න රත්නායක