රාජ්‍ය ව්‍යවසායන්හි අධ්යක්ෂවරුන් ලෙස පත්කරනු ලැබ සිටින මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් තවදුරටත් තම වගකීම්වල නිරතව සිටින බවත්, ඇතැම් මාධ්‍යන්හි වාර්තා කළ ආකාරයට කිසිවෙකුත් තම අධ්යක්ෂ ධුරවලින් ඉල්ලා අස්වී නොමැති බවත් මුදල් අමාත්‍යාංශය කියයි.
රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනයන්හි අධ්යක්ෂ මණ්ඩලවලට මහා භාණ්ඩාගාරයේ නියෝජිතයන් ලෙස නිල බලයෙන් පත්ව සිටින අධ්යක්ෂවරුන් බහුතරයක් ඉල්ලා අස්වූ බවට පළවී ඇති ඇතැම් මාධ්‍යවලට පිළිතුරු සපයමින් මුදල් අමාත්‍යාංශය මෙම නිවේදනය කරයි.
'මහා භාණ්ඩාගාරයෙන් පත්කරන ලද අධ්‍යක්ෂවරුන්ගේ සමූහ ඉල්ලා අස්වීම' යැයි පළ කරන ලද සත්‍ය විකෘති කරනලද ප්‍රවෘත්තිය දැඩිසේ ප්‍රතික්ෂේප කරන බවත්, රාජ්‍ය ආයතනවල අධ්යක්ෂවරුන් ලෙස පත්කරන ලද මුදල් අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයේ කිසිදු නිලධාරියෙකු තම ධුරවලින් ඉල්ලා අස්වී නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ප්‍රකාශ කර තිබේ.
"වැරදි නොකරන නිලධාරීන්ව අප නිරන්තරයෙන්ම ආරක්ෂා කරනවා. යහපාලන රජය යටතේ තිබෙන්නේ දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර අධිකරණයක්. එහෙයින් වැරදිකළ අධ්යක්ෂවරුන් සිටින්නේ නම් අපට කරන්න දෙයක් නැහැ. එවන් අයට එරෙහිව අධිකරණ ක්‍රියාවලියක් සිදුවේවි" යැයි රවි කරුණානායක මහතා පවසා ඇත.