ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාව වෙත පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් 153 දෙනා යළි ශ්‍රී ලංකාවට පිටත් නොකරන බවට ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රතිඥාවක් දුන් බව මානව හිමිකම් ක්‍රියාධරයන් පවසන්නේ යැයි බී.බී.සී.ය කියයි.
එම පිරිස සම්බන්ධ නඩුව සිකුරාදා (18දා) යළිත් විභාගයට ගැනුණු අවස්ථාවේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව මෙම ප්‍රතිඥාව දුන් බව එරට අනාථයන් සඳහා වන ක්‍රියාකාරී සන්ධානයේ ඉයන් රින්ටූල් පවසා ඇත.
"මේ 153 දෙනා කිසිසේත්ම යළිත් ශ්‍රී ලංකාවට පිටත් නොකරට බවට ආණ්ඩුව පොරොන්දු වුණා. ඔවුන් වෙනත් රටකට යවනවා නම් අනිවාර්යයෙන්ම පැය 72 කට කලින් ඔවුන්ගේ නීතිඥයන්ට දැනුම් දෙන බවටත් ආණ්ඩුව පොරොන්දු වුණා" යනුවෙන්ද ඔහු පැවසීය.
කෙටි විභාගයකින් අනතුරුව විභාගය ලබන අගොස්තු 5 වැනි දිනට කල් තැබුණු බවද කියැවෙයි.
ශ්‍රී ලංකාවේ සිට පිටත් වූ වෙනත් බෝට්ටුවක සිටි 41 දෙනෙකු සති කිහිපයකට පෙර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් යළි ශ්‍රී ලංකාවට භාරදීමට විරෝධය දක්වමින් එරට මානව හිමිකම් ක්‍රියාධරයන් විසින් මෙම නඩුවක් ගොනුකළ බවත්, එසේම ඔස්ට්‍රේලියානු රජයට එල්ල වූ ජාත්‍යන්තර පීඩනය අනුව මෙසේ දෙවැනි බෝට්ටුවේ සිටින පිරිස යළි ශ්‍රී ලංකාවට භාර නොදෙන බවට එරට අධිකරණය තීරණය කර ඇති බවත් ඔවුහු පවසති.
කෙසේ නමුත් මේ පිරිස රඳවා සිටින්නේ කොතැනකද යන්න ඔස්ට්‍රේලියානු බලධාරීන් තවමත් හෙළි කොට නොමැති බවද කියැවෙයි.
"ඔවුන් කියන්නේ ඒ පිරිස අත් අඩංගුවට ගෙන ඔස්ට්‍රේලියානු නෞකාවක රඳවා සිටින බව පමණයි. ඒ කියන්නේ නැව තවමත් තියෙන්නේ ජාත්‍යන්තර මුහුදේ. මුලින්ම ඒ පිරිස අල්ල ගත්ත ස්ථානයේ ඉඳල දැන් ඔවුන් තවත් මුහුද මැදට ගෙනිහිල්ල තියෙනවා" යනුවෙන්ද ඉයන් රින්ටූල් පැවසීය.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හුවාදක්වන මානව හිමිකම් ක්‍රියාධරයන් යැයි කියා ගන්නා පිරිස් මේ වනවිට ශ්‍රී ලංකාව වඩාත් අනාරක්ෂිත ස්ථානයක් බවට ජාත්‍යන්තරය තුළ ඒත්තු ගැන්වීමට මෙකී සිදුවීම් හරහා උත්සාහ ගනිමින් සිටින බව පෙනෙන්නට තිබේ.