නයිජීරියාවේ ජෝස් නගරයේ සිදුවූ අධිබල බෝම්බ පිපිරුම් දෙකකින් මියගිය පිරිස මේ වනවිට 118 ඉක්මවා ඇති බව නයිජීරියාවේ ආපදා කළමනාකරණ ඒජන්සිය පවසයි.
පළමු වැනි පිපිරුම ජනාකීර්ණ වෙළෙඳ පොළක සිදුව ඇති අතර, දෙවැනි පිපිරුම ඒ ආසන්නයේ වූ රෝහලක් අසල සිදුව තිබේ.
මෙම පිපිරීම්වල වගකීම කිසිවෙකු විසින් භාර නොගත්තද, පෙර පරිදිම නයිජීරියාව තුළ බෝම්බ ප්රහාරයන් මෙන්ම පුද්ගල පැහැරගැනීම්වලට ප්රසිද්ධ ඉස්ලාමීය අන්තවාදී බෝකෝ හරාම් ත්රස්ත සංවිධානය වෙත මෙම පිපිරීම්වලද ඇඟිල්ල දිගුවී තිබේ.
ප්රංශ පුවත් සේවය පෙන්වා දෙන පරිදි මෙම බෝම්බ පිපිරීම්වලින් මියගිය වැඩි පිරිසක් කාන්තාවන්ය. දෙවැනි පිපිරීම් පළමු වැනි පිපිරීමෙන් විනාඩි 30කට පමණ පසු සිදුවී ඇති නිසා, සහන සේවකයන්ද ඊට ගොදුරුව ඇති බව කියැවෙයි.
දැනට තුවාල වී ඇති පුද්ගලයන් 56 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත්, එහි බරපතල තත්ත්වයේ පසුවන්නන් සිටින බවත් ආපදා කළමනාකරණ ඒජන්සිය වැඩිදුරටත් පවසා සිටියි.
පසුගිය මාසයේදී නයිජීරියාවේ ද්විතීයික පාසලක ඉගෙනුම ලැබූ සිසුවියන් 200කට වැඩි පිරිසක් පැහැරගෙන යෑම හේතුවෙන් බෝකෝ හරාම් ත්රස්තවාදයට එෙරෙහිව අප්රිකානු ජාතීන් යුද ප්රකාශ කර තිබේ.
.