ඉදිරි දින කිහිපයේදී උතුරු බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ අඩුපීඩන තත්ත්වයක් වර්ධනය වන ලකුණු පවතින බැවින්, දිවයිනේ බස්නාහිර හා නිරිතදිග ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් අද සවස සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එහිදී, අද (17දා) සිට 20 දා දක්වා මෙම වැසි සහ සුළං තත්ත්වය අපේක්ෂා කරයි
දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ දකුණු පළාතේ සහ දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත්, තවද, දිවයිනේ දකුණු ප්‍රදේශයේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මි.මී 75 ට වැඩි තරමක් තද වැසිද ඇතිවිය හැකි අතර, නැගෙනහිර පළාතේ ස්ථාන ස්වල්පයක සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.