මෙම වසරේ සැප්තැම්බර් මස දාහත්වනදාට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ එකසිය පනස් වන ජන්ම දිනය නිමිති කර ගනිමින් බොදු බල සේනාව විසින් දියත් කරනු ලබන “අවදිවව්” දෑ අවුරුදු ධර්ම යාත්‍රා වැඩසටහන ජනවාරි 11 වනදා ඓතිහාසික මහියංගනය රජ මහ විහාරය අසලින් ඇරඹේ. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක, අනුනායක මා හිමිපාණන් වහන්සේලාද වැඩමවීමට නියමිතය. 2014 හා 2015දෙවසර තුළ ක්‍රියාත්මක මෙම වැඩසටහන ඔස්සේ, නිර්වින්දනය වී සිටින සිංහල ජාතිය ධර්මපාල දැක්මෙන් අවදිකරවා දැයම එක රොදකට පෙළ ගැස්වීම පිණිස අධිෂ්ඨානශීලීව ගමින්ගම සැරිසැරීමට බොදු බල සේනාව අපේක්ෂා කරයි.
මෙම වැඩසටහන ගමින් ගමට යාත්‍රාවෙහි යෙදෙන විශේෂ ප්‍රදර්ශන රථ වලින් සමන්විත වන අතර බොදු බල සේනා මහියංගන ප්‍රාදේශීය සංවිධානය විසින් සූදානම් කර ඇති පරිදි ජනවාරි 18 වනදින දක්වා මහියංගනය අවට හඳුනාගෙන ඇති විහාරස්ථාන හා සෙසු ස්ථාන ගණනාවක පැවැත්වෙන ප්‍රාදේශීය සමුළු, පුහුණු, සම්මන්ත්රණ, ව්‍යාපාරික සංසද පිහිටුවීම්, අන්‍යාගමිකකරණය හෝ සිංහල බෞද්ධයාට ඇති වෙනත් තර්ජන පිළිබඳ සොයා බැලීම් ආදී අංගයන්ගෙන් සමන්විතවේ. දහඅට වනදායින් අනතුරුව “අවදිවව්” ධර්ම යාත්‍රාව බදුල්ල ප්‍රදේශයේ වැඩසටහන් සඳහා පිටත්වනු ඇත.
එකොළොස්වන සෙනසුරාදා මහියංගන රජ මහ විහාරය අසළින් උත්සවශ්‍රීයෙන් ඇරඹෙන “අවදිවව්” යුග යාත්‍රාව සඳහා කොළඹ සිට විශේෂ රිය පෙරහරක් ජනවාරි දහවන දින මහියංගනය බලා පිටත්වේ. කිරුලපන බොදු බල සේනා ජාතික මෙහෙයුම් මුලස්ථානය අසළින් පිටත්වන රිය පෙරහැර කොළඹ මරදාන මාළිගාකන්ද පාරේ මහා බෝධි මධ්‍යස්ථානයේ දී පෙරවරු 8.45 ට ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව මහියංගනය බලා ගමන් අරඹනු ඇත. දුරුතු පුන් පොහෝ දිනකදී තථාගතයන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පළමුව අති පාරිශුද්ධියට පත්වූයේ මහියංගනය බැවින්, මෙම වැඩසටහන එම ස්ථානයෙන් 2014 දුරුතු පොහොයට ආසන්න දිනකදී ඇරඹීමට තීරණය කළ බව බොදු බල සේනා සංවිධානවේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ. මෙම දෑ අවුරුදු වැඩසටහනෙහි නිල මුද්‍රිත මධ්‍ය අනුග්‍රහය ‘අද’ පුවත්පත විසින් සපයනු ලැබේ.