බුද්ධි අංශ නිලධාරීන්ට මාස 14ට පසුව ඇප
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමේ සිද්ධියට අදාළව මාස 14 ක කාලයක් රිමාන්ඩ්භාරයේ සිටි සැකකාර හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා රුපියල් ලක්ෂ 15 ක මුදල් ඇප හා ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (24දා) නියෝග කළේය.
මෙලෙස ඇප නියම කෙරුණේ පළමු වැනි සැකකාර යුද හමුදා බුද්ධි බළකායේ ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන කුමාරරත්න හා තුන්වැනි සැකකරු වන මාණ්ඩලික සැරයන් රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ හෙවත් නාදන් යන දෙදෙනාටය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය සෑම ඉරු දිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසද ඔවුන්ට නියම කළේය.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකී සිටින ලෙසත්, මෙම නඩුවට අදාළ විමර්ශනවලට සහාය දිය යුතු බවටත් සඳහන් කරමින් සැකරුවන්ට දැඩිලෙස අවවාද කෙරිණි.
මෙම සිද්ධියේ හතරවැනි සැකකාර සාජන් මේජර් විනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, පස්වැනි සැකකාර කෝප්රල් එස්.එම්.රවීන්ද්‍ර රූපසේන හෙවත් රංජි යන අයගේ ඇප අයදුම්පත් පිළිබඳ සලකා බැලීම නොවැම්බර් 08 වැනිදා සිදු කිරිමට නියමිතය.
කිරිඳිවැල උපාලි රණවීර / අවිස්සාවේල්ල සෝමසිරි හිඟුරලආරච්චි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

