ගමේ ආර්ථිකය ශක්තිමත් කරනුයේ කුඩා ව්‍යාපාරිකයන් බවත්, ඔවුන් දිරිමත් කර, නව තාක්ෂණය ලබාදී ඔවුන් නගාසිටුවීමට කටයුතු කළහොත් ගමේ ආර්ථිකය මෙන්ම සමස්ත ආර්ථිකය ශක්තිමත් කරගත හැකි බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත පුහුණුවක් හා යන්ත්‍ර සූත්‍ර පිළිබඳ අධ්‍යයනයක් ලබාදීම තුළින් ව්‍යවසායකයන් බිහිකිරීමේ අරමුණින් පන්නල, මාකඳුර ප්‍රදේශයේ ඉදිකළ තාක්ෂණික හුවමාරු පෙරවැඩුම් මධ්‍යස්ථානය අද (13දා) විවෘත කිරීම වෙනුවෙන් පැවැති උත්සවයකදීය.
"බිල් ගේස්ට් කියන්නෙ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් නොකරපු කෙනෙක්. අන්න ඒ අයට පුළුවන් නම් ව්‍යාපාර ඉදිරියට ගෙනියන්න අපටත් පුළුවන් වෙන්න ඕන. වයඹ විශ්වවිද්‍යාලයෙනුත් උනන්දුවක් ගන්නවා මේ විශ්වවිද්‍යාලයෙන් පිටවෙන අයව ව්‍යාපාරික ක්ෂේත්රයට දාන්න. විශ්වවිද්‍යාලවලින් පිටවන අය තමයි විශාල ව්‍යාපාර ආරම්භ කරන්නෙ.
ඒනිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ව්‍යාපාරික අංශයට හොඳ එකක්. ප්රශ්නය තියෙන්නෙ අපි මුදල් යටකළාම කොහොමද ආයේ ඒ මුදල් ලබාගන්නේ. අන්න ඒ උදව්ව තමයි වයඹ විශ්වවිද්‍යාලයෙන් දැන් ලබාදෙන්නේ. මේ සියල්ල කරන්න පුළුවන්.
වයඹ දිහා බලන්න, වයඹ තියෙන්නේ රජයේ වැවිලි සමාගම් හැර කුඩා වතු. වැඩියෙන්ම තියෙන්නේ අක්කර 50. මොකක්ද වයඹ තියෙන විශාලම වාසිය තාම ප්‍රයෝජනයට නොගත්ත. කටුනායක ගුවන්තොටුපළ. අද අපනයන කර්මාන්තය වරායට සීමාවෙලා නැහැ. බොහෝ රටවල ගුවන්තොටුපළත් පාවිච්චි කරනවා. හොඳ උදාහරණයක් තායිලන්තය. යවන මල් වගාව, යවන පැළෑටි වගාව. කෘෂි තාක්ෂණය නිසා සමහරු අක්කරයට ලක්ෂ 50ක් 60ක් විදයම් කරනවා. ඒ වගේම විශාල මුදලක් ආපසු ලබාගන්නවා. අපේ ආර්ථිකයත් අපි ඒ විදියට හැඩගස්වන්න ඕන.
අපට තාම ණය බර තියෙනවා. දෙවැනුව වියදම් ආදායම් පරතරය තියෙනවා. අපට වැඩියෙන්ම ණය ගෙවන්න තියෙන්නෙ 2017, 2019යි. 2020 වෙනකොට අපට අතිරික්තයක් තියෙනවා. ඊට පස්සේ අපට පුළුවන් මීට වඩා ලේසියෙන් ආර්ථිකය ගෙනියන්න. ඒත් මේවා කරනතෙක් අපට නිකන් ඉන්න බැහැ. දියුණුවක් තියෙන්න ඕන. රටේ කර්මාන්ත ඇතිවෙන්න ඕන. ශක්තිමත් යටිතල පහසුකම් දීලා, මූල්‍ය සේවාවන් දුන්නම අපි බලාපොරොත්තු වෙනවා විශාල ආර්ථික දියුණුවක් ඇතිකරන්න" යැයි පවසා සිටියේය.
වඩුමුන්නේගෙදර - ටී.පී. අධිකාරි