දිවි නැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි ගණනක මුදල් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කොට සිටින හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා තම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන්නැයි ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පැතුවේය.
ගිලන් රථයෙන් බිමට බැසීමටවත් නොහැකි තරමට රෝගීව සිටින බැසිල් රාජපක්ෂ මහතා කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික ගනේපොල මහතා විසින් ලබන 27 වැනිදා තෙක් තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.
දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් වංචා කිරීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් සිවුදෙනා තවදුරටත් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට ඇප නියම කරනවාද? නැද්ද? යන තීරණය එදින ප්‍රකාශයට පත් කරන බව ද දැනුම් දුන්නේය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේ දී මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමග පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ තුසිත් මුදලිගේ මහතා කරුණු ඉදිරිපත් කරමින් දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල්වලින් එම දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම යන අයට පාරිතෝෂිත ගෙවීම, දෙපාර්තමේන්තුවේ මුදල්වලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීම සහ ඉසුරුමත් නිවාස වැඩපිළිවෙල වෙනුවෙන් අඩු ආදායම්ලාභීන් වෙනුවන් රුපියල් 2500 බැගින් මුදල් ලබාදීම මගින් මෙම වංචාව සිදු කොට ඇතැයි කීය.
මෙම මුදල් සාපරාධී ලෙස පරිහරණය කළ බවක් හෝ සැකකරුවන් සන්තකයට ගත් බවක් මේ වනතෙක් අනාවරණය නොවූවත් ප්රතිලාභ නොලැබීම මතම වරදක් සංස්ථාපනය නොකරන්නේ ද නැතැයි කී තුසිත් මුදලිගේ මහතා අයුතු ලාභය නැතිවූවාක් මෙන්ම අයුතු අලාභයක් සිදු වී ඇතිද? යන්න පිළිබඳව පරීක්ෂණ කළ යුතු යැයි කීය.සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, ජනාධිපති නීතීඥ අනිල් සිල්වා සහ නීතීඥ යූ.ආර්. ද සිල්වා යන මහත්වරු වෙන වෙනම කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයින් මෙම වරද සිදු කර නැතැයි ද ඔවුන් දිවි නැගුම මුදල්වලින් කිසිදු මූල්‍ය ප්‍රතිලාභයක් ලබා නැතැයි ද කීහ.
එක එක කරුණු මත තම සේවාදායකයින් රිමාන්ඩ් භාරයට පත් නොකොට හැකි ඉක්මණින් ඔවුන්ට ඇප දෙනවාද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නැයි ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ.
ඒ අනුව සැකකරුවන් ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
මේ අතර බැසිල් රාජපක්ෂ මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ කැබිනට් මණ්ඩලය ඇතුළු 45 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් තම මූලික අයිතිවාසිකම් රැක දෙන්නැයි ඉල්ලමින් ඊයේ (20 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
නීතිවිරෝධී ගැසට් නිවේදනයක් මගින් සංස්ථාපනය කොට ඇති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කොට සිටින තමාට ඇප නියම කරන්නැයි කඩුවෙල මහේස්ත්රාත්වරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස සනත් විජේවර්ධන මහතා මගින් ඉදිරිපත් කොට ඇති එම පෙත්සම මගින් ඉල්ලීම් කොට ඇත.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය නීතිවිරෝධී ලෙස ප්‍රකාශයක් නිකුත් කරන ලෙසටත් ඒ අනුව තමා සම්බන්ධයෙන් ගනු ලැබූ සියලු පියවර නීතිවිරෝධී ලෙස ප්‍රකාශයක් නිකුත් කරන ලෙසට ද බැසිල් රාජපක්ෂ මහතා සිය පෙත්සමින් ඉල්ලා සිටියි.
දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජා මූලික බැංකුවක අරමුදලින් සමෘද්ධි ප්‍රතිලාභීන්ට වන්දි ගෙවීම මත තමා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු පවසයි. තවද 2015 වර්ෂයට අදාළ ලිත් මිලියන 5ක් මුද්‍රණය කිරීම ද තමාට නගා ඇති චෝදනාවක් බවත් එය බොහෝ රාජ්‍ය ආයතන කාලයක් තිස්සේ සිදු කරන ක්‍රියාවක් බවත් ඔහු පවසයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමාට ඇප ලබාදීම සඳහා දිගින් දිගටම විරුද්ධ වන බවත් නීතිවිරෝධී අත්අඩංගුවට ගැනීම හරහා තමා දිගටම රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව රාජපක්ෂ මහතා සිය පෙත්සමින් පවසා සිටියි.
බුද්ධිමාල් රුබේරු, ලක්මාල් සූරියගොඩ