භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීමේදී හා එයට අදාළව සාක්ෂි විමසීමේදී අමතර කරුණු හෙළිවීම හේතුවෙන් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීමට සිදුවීමත්, කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලයක් අවශ්‍ය වීමත් හේතුවෙන් කොමිසමේ කාලය දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමට මෙලෙස බලාපොරොත්තු වන බව වාර්තා වේ.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත්,2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා මෙම ජනාධිපති පරීක්ෂණ කොමිසම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද්දේ පසුගිය පෙබරවාරි මාසයේදීය.
ඉන් අනතුරුව අවස්ථා දෙකකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මාස තුන බැගින් කොමිසමේ කාලය දීර්ඝ කරන ලද අතර, දෙවැනි වරට දීර්ඝ කරන ලද කොමිසමේ කාලය ලබන 27 වැනිදායින් අවසන් වීමට නියමිතය.
මෙම කොමිසමේ කටයුතු මේ මස 27 වැනිදාට පෙර අවසන් කිරීමට කොමිසම සැලසුම් කර තිබුණද, කොමිසමේ සාක්ෂි විමසන අතරතුර මෙම සිද්ධීන්වලට අදාළ අමතර කරුණු හෙළිවීම හේතුවෙන් එම සිද්ධීන් සම්බන්ධයෙන්ද විමර්ශනය කිරීමට සිදුවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන කටයුතු පෙර සැලසුම් කළ ආකාරයට අනුව අවසන් කර ගැනීමට නොහැකි වූ බවද වාර්තා වේ.
ඒ අනුව මෙහි විමර්ශන හා සාක්ෂි අවසන් කර වාර්තාව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම සඳහා තවත් මාස තුනකින් කොමිසමේ කටයුතු දීර්ඝ කරන්නැයි ඉල්ලීමක් කිරීමේ සූදානමක් ඇතැයි වාර්තාවේ.