මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අර්ජුන් අැෙලා්සියස් මහතාෙග් සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගම අයුතු ලාභයක් ලබාගෙන ඇති බවටත්, මේ සම්බන්ධයෙන් සමාගමේ අධ්යක්ෂවරුන් අපරාධ වරදක් සිදුකර ඇති බවටත් කෝප් කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ අනුව සමාගමේ අධ්යක්ෂවරුන් වන අර්ජුන ඇලෝසියස්, ගොඩ්රිච් ඇලෝසියස් ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ පැවැත්වීමටද කමිටුව නිර්දේශ කර තිබේ.
සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24දා) කෝප් කමිටුව පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, එහිදී මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත.
එමෙන්ම මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අයුතු ලාභ ලබාගත් තවත් සමාගම් කිහිපයක් මෙහිදී හෙළිදරව් වී ඇති අතර, එම සියලු සමාගම් පිළිබඳවද වහාම අපරාධ පරීක්ෂණ පැවැත්වීමට කෝප් කමිටුව නිර්දේශ කර ඇත.
මේ සම්බන්ධයෙන් තවදුරටත් තීන්දු ගැනීමට කෝප් කමිටුව අනිද්දා (27දා) නැවත රැස්වීමට නියමිත අතර, ඊයේ කෝප් කමිටු සාමාජිකයන් 26 දෙනාගෙන් 11 දෙනෙකු අදාළ රැස්වීමට සහභාගි වී ඇත.
මේ සම්බන්ධයෙන් 'අද' අශෝක් අබේසිංහ, අජිත් පී. පෙරේරා යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ගෙන් කළ විමසීමේදී ඔවුහු මේ බව තහවුරු කළහ.
මේ පිළිබඳ කරුණු දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා,“මහ බැංකු බැඳුම්කර සිදුවීම සම්බන්ධ අවසාන කෙටුම්පත සලකා බැලීම සඳහා පසුගිය සතියේ කෝප් කමිටුව රැස්වුණා.
ඒ වගේම ඊයේ (24දා) පෙ.ව. 10.30 ට සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වුණා. මේ රැස්වීමට එක්සත් ජාතික පක්ෂයේ සාමාජික මන්ත්‍රීවරුන් වගේම එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රීතුමා සහභාගි වුණා. ඊට අමතරව විගණකාධිපතිවරයා සහ කෝප් කමිටුවේ ලේකම් මණ්ඩලයත් සහභාගි වුණා.
එහිදී විස්තරාත්මකව කෙටුම්පත් වාර්තාව පිළිබඳ සභාවේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව මත එයට විවිධ අදහස් එකතු වුණා. එහි ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කළා. ඒ අනුව පස්වරු 5.30 ට පමණ මෙම වාර්තාවේ අවසාන නිර්දේශ සලකා බැලීම ආරම්භ කළා.
ඒ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු යෝජනා කළා පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගම මහ බැංකු ගනුදෙනුවලදී අයුතු ලාභයක් ලබා තිබෙනවා. ඉන් රජයට පාඩුවක් වී තිබෙනවා. මේ නිසා මහ බැංකු බැඳුම්කර පිළිබඳ කෝප් කමිටු සාක්ෂිවලින් එම සමාගමේ අධ්යක්ෂවරු අපරාධ වරදක් සිදුකර ඇති බව තහවුරු වුණා.
එම අපරාධ වරද පිළිබඳ කටයුතු කිරීම පිණිස එම සමාගම් අධ්යක්ෂවරු ලෙස හෙළිදරව් වුණ අර්ජුන ඇලෝසියස්, ගොඩ්‍රික් ඇලෝසියස් ඇතුළු එහි අධ්යක්ෂවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ පැවැත්විය යුතු බවට කෝප් කමිටුව නිර්දේශ කළා.
ඒ අවස්ථාවේදී සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා මෙම කාරක සභාවේ තවදුරටත් කටයුතු කළ නොහැකි යැයි පවසමින් ඉවත්ව ගියා. පසුව ඒ අවස්ථාවේ සිට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් මන්ත්‍රීවරයා වැඩබලන සභාපතිවරයා ලෙස පත් කරගනිමින් සභාවේ කටයුතු පස්වරු 6.40 තෙක් ඉදිරියට ගෙන ගියා.
විගණකාධිපතිවරයා සහ අනිකුත් පාර්ලිමේන්තු කණ්ඩායමක් සමග මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේදී අයුතු ලාභ ලබා තිබෙන තවත් සමාගම් තිබෙන බව පෙනී ගිය නිසා එම සමාගම්වලට එරෙහිවත් අපරාධ පරීක්ෂණ වහාම ආරම්භ කිරීමට කෝප් කමිටුව තීරණය කළා. ඒ වගේම කෝප් කමිටුව වැඩිදුර තීරණවලට එළැඹීම සඳහා ලබන බ්‍රහස්පතින්දා රැස්වීමට තීරණය කරගත්තා" යනුවෙන් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාගෙන් 'අද' කළ විමසීමකදී ඔහු පැවසුවේ මීට පෙර සකස් කළ වාර්තාව වෙනස් කිරීමට ඊයේ රැස්වූ මන්ත්‍රී කණ්ඩායම උත්සාහ කළ බවයි. එයට තමා එකඟ නොවන බැවින් තාවකාලික සභාපතිවරයෙකු පත් කරගනිමින් ඔවුන්ගේ සංශෝධන සිදුකරගන්නා ලෙස පවසා තමා ඉවත්ව ගිය බවද ඔහු කීය.
එමෙන්ම ඉදිරි පාර්ලිමේන්තු සතියේදී මෙම වාර්තා දෙකම ඇතුළත් එක් වාර්තාවක් තමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.