භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විභාග කිරීමේ කටයුතු ඉදිරි සතිය තුළ විමසා අවසන් කිරීමට අපේක්ෂා කරන බව එම කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත්රසිරි මහතා අද (02දා) දැනුම් දුන්නේය.
මෙම බැඳුම්කර සිද්ධියට අදාළ වාර්තාව සකස් කිරීමට තමන්ට කාලය අවශ්‍ය බව පෙන්වා දුන් කොමිසමේ සභාපති විනිසුරු චිත්රසිරි මහතා ලබන 13 වැනිදායින් අවසන් වන සතිය තුළ සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරන බව දැනුම් දුන්නේය.
බැඳුම්කර කොමිසමේ පැමිණිල්ල මෙහෙයවමින් එහි කටයුතුවලට සහාය වන වැඩබලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් හරස් ප්‍රශ්න ඇසීම අවසානයේදී කොමිසම සභාපතිවරයා ඒ බව දැනුම් දුන්නේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.