බෙල්ජියමේ, බ්රසල්ස් නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පිහි ප්රහාරයකට ලක්ව ඇති අතර, මෙය හුදකලා ත්රස්ත ප්රහාරයක් විය හැකි බව එරට ආරක්ෂක අංශ සැක පහළ කරයි.
එක් පොලිස් නිලධාරියෙකුගේ ගෙලට පිහි ප්රහාරයක් එල්ල වී ඇති අතර, අනෙක් නිලධාරියාගේ උදරයට පිහි ප්රහාර එල්ල වී තිබේ.
එම අවස්ථාවේ ඔවුන්ගේ සහායට පැමිණි තෙවැනි පොලිස් නිලධාරියා විසින් ත්රස්ත සැකකරුගේ පාදයකට වෙඩි තබා ප්රහාරය පාලනය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
පොලිස් නිලධාරීන් මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බවත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් කියැවෙයි. එමෙන්ම, ප්රහාරකයාද රෝහල්ගත කර ඇති අතර, ඔහු බෙල්ජියම් ජාතික හිචාම් ඩී නමැති 33 හැවිරිදි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
පළමු පොලිස් නිලධාරියාගේ මුහුණට දැවැන්ත මුෂ්ටි ප්රහාරයක් දී ඔහු බිම දැමීමෙන් පසුව දෙවැනි පොලිස් නිලධාරියා වෙතට මොහු පහරදුන් බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බෙල්ජියමේ බ්රසල්ස් ගුවන් තොටුපොළට හා මෙට්රෝ ප්රවාහන පද්ධතියට එල්ල වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව එරට ත්රස්ත අවදානම ඉහළ නංවා ඇති අතර, එම ප්රහාරවලින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 300කට අධික පිරිසක් තුවාල ලැබීය.
අයි.එස්. ඉස්ලාම් රාජ්ය ත්රස්තයන් එම ප්රහාරයේ වගකීම භාරගෙන තිබුණි.