සුළු මුදලකින් ඩීසල් මිල අඩු කිරීම සැලකිල්ලට ගෙන බස්ගාස්තු අඩු කළ නොහැකි බවත්, එහෙත් දේශීය ටයර්වලට පනවා තිබෙන 68෴ බදු මුදල පහත දැමුවහොත් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ හැකි බවත් බස් සංගම් සඳහන් කරයි.
රබර් කිරි ශීඝ්ර ලෙස පහළ වැටී තිබුණද එහි වාසිය පාරිභෝගිකයන්ට ලැබී නොමැති බවත්, මේ නිසා එම වාසිය සහ 68෴ ක බදු මුදල අඩුකර දේශීය ටයරයක මිල පහත දමන ලෙසත් බස් සංගම් ඉල්ලා සිටියි.
ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් අඩු කිරීමත් සමග බස්ගාස්තු සංශෝධනයක් වියයුතු යැයි මතයක් ඇති වී තිබෙන බවත්, එහෙත් අදාළ මිල අඩු කිරීම මත කෙටි ගමන්සේවා බස් රථයකට වාසි අත් වී තිබෙන්නේ රුපියල් 150 - 225 අතර මුදලක් පමණක් බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
මීට අමතරව දුරගමන් සේවා බස් රථයකට වාසි අත්වී තිබෙන්නේ රුපියල් 300 - 500 අතර මුදලක් බවත්, එහෙත් බස්රථයක් නඩත්තු කිරීමේදී දෙවැනියට වැඩිම වියදම දරන්නේ ටයර් සහ ටියුබ්වලට බැවින් දැනට දේශීය ටයර් සඳහා පනවා ඇති බදු මුදල අඩුකර, නැවත පිර වූ ටයරයකට පනවා ඇති බදු මුදල්ද ඉවත්කරන ලෙස එම සංගමයේ ප්රධාන ලේකම් අංජන ප්රියංජිත් මහතා සඳහන් කළේය.
ඩීසල්වලට වියදම් කරන මුදල බස් ගාස්තු සංශෝධනයේදී එක් සාධකයක් පමණක් බවත්, මේ නිසා ඩීසල් මිල රුපියල් 03කින් අඩු වූ පමණින් බස්ගාස්තු සංශෝධනයක් කළ නොහැකි බවත් ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කළහොත් ගාස්තු සංශෝධනය කිරීමක් පිළිබඳව සලකා බලන බවද ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.