ශ්‍රී ලංකාව තුළ විදුලි නිෂ්පාදනය සඳහා බලාගාර ඉදිකිරීමට විරුද්ධ නම් විදෙස් රටවලින් හෝ වැඩි මිලට විදුලිය ආනයනය කිරීමට සිදුවන බව ලංකා විදුලිබල මණ්ඩල සභාපති අනුර විජේපාල මහතා 'අද' ට පැවසීය. සාගරය යටින් දිවෙන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කළ පුවත සම්බන්ධයෙන් විමසීමේදී සභාපතිවරයා මේ බව කීය.
ජල විදුලිය සීමාවන කාලසීමාවේදී අඛණ්ඩව විදුලිය ලබාදීමේ අවශ්‍යතාව සපුරාගැනීමට එවැනි විකල්ප ක්‍රම පිළිබඳව ඉදිරියේදී අවධානය යොමු කිරීමට සිදුවනු ඇතැයිද ඔහු කීය.වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා, "ලංකාවේ කිසිම බලාගාරයක් ඉදිකිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙලයි තිබෙන්නේ. හැමදේටම විරුද්ධ වෙනවා. ගල්අඟුරු බලාගාරවලට, කුඩා ජල විදුලි බලාගාරවලට විරුද්ධ වෙනවා. ඒ අනුව ගත්තාම විදුලිය වැඩි මිලට ආනයනය කරන්න තමයි සිදුවෙන්නේ.
රට තුළ බලාගාර ඉදිකිරීමට විරුද්ධ නම් විදෙස් රටවලින් විදුලිය ගෙනඒම තමයි කරන්නට තිබෙන්නේ. එයට හැමෝම සූදානම් වෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ. කාලයක් පුරාවටම ලංකාවයි, ඉන්දියාවයි අතර එහෙම සාකච්ඡාවක් පවතිනවා. ඉදිරියේදී පවත්වන්නට යෙදෙන ඉන්දු ශ්‍රී ලංකා ලේකම්තුමන්ලා අතර සාකච්ඡාවේදී මේ පිළිබඳ සාකච්ඡා වේවි කියා අපි හිතනවා.
මේ සම්බන්ධයෙන් කිසිම එකඟතාවකට පැමිණ නැහැ. නමුත් වසර කිහිපයක පටන්ම මේ සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයන් සිදුකර තිබෙනවා. මේ සඳහා වන දැවැන්ත වියදම නිසා තමයි මෙය නැවතිලා තිබුණේ. වියදම් අඩු කරගෙන මෙය සිදුකරන්නේ කොහොමද කියලා දෙපාර්ශ්වයම සාකච්ඡා කිරීමට නියමිතයි" යනුවෙන් පැවසීය.
සාගරය පතුලෙන් ඉදිකෙරන සම්ප්‍රේෂණ පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට ඉන්දියාවේ අවධානය යොමුව ඇතැයි %ද හින්දු^ පුවත් සේවය තොරතුරු වාර්තා කර තිබිණි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව යා කරමින් මුහුදු පතුලෙන් ඉදිවෙන කේබල් පද්ධතියක් හරහා මෙසේ ඉන්දියාව ශ්‍රී ලංකාවට විදුලිය අපනයනය කිරීමට සූදානම් බවද මෙහිදී වාර්තා කර තිබිණි.