බරවා රෝගය තුරන් කළ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන සහතිකය මේ මස 21 වැනිදා මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටියි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂිකා පූනම් කෙත්රපාලසිංහම් මහත්මිය විසින් එම සහතිකය සෞඛ්‍ය ඇමැතිවරයාට ලබාදීම සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.
වසර 2020 වන විට බරවා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉලක්කයක් ලබා දී ඇති අතර එය වසර 2016 දීම තුරන් කිරීමට හැකි වීම ශ්‍රී ලංකාව ලැබූ විශාල ජයග්‍රහණයක් බව ඒ මහතා පැවැසුවේය.
කිසියම් රටක බරවා ක්ෂුද්‍ර පරපෝෂිතතාව සියයට 1 කට වඩා අඩු වීම එම රටෙන් බරවා තුරන් කළ බවට වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකය වන බවත් නමුත් මෙරට එම ප්‍රතිශතය වනුයේ සියයට 0.03 ක් බවත් ඔහු අවධාරණය කළේය. වසර 2015 දි රට පුරා බරවා රෝගීන් 98 දෙනකු වාර්තා වූ බව ද බරවා රෝගීන් තවදුරටත් අවම කර ගැනීම සඳහා දිගටම වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවැසුවේය.
සරම්ප, ක්ෂය රෝගය, ජලභීතිකාව, මැලේරියාව යනාදි රෝග තුරන් කිරීමේ මට්ටමට ළඟා වී ඇත්තේ යැයි ද හෙතෙම කීය.
කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කයන්හි බරවා රෝගීන් වාර්තා වීමට ඉඩක් පවතින අතර ප්‍රතිකාර සඳහා එම දිස්ත්‍රික්කයන්හි බරවා පර්යන්ත මර්දන ඒකක පිහිටුවා තිබේ. උණ, මස්පිඬුවල වේදනාව, සමෙහි ඇති වන වේදනාකාරි රතු ලප, වසා ප්රනාලයන්හි ආසාදනය, වසා ග්‍රන්ථීවල ඉදිමීම, ආසාදිත අවයව ආශ්රිත ඉදිමීම හා වේදනාව ප්‍රධාන වශයෙන් අත්, කකුල්, සන්ධි, පියයුරු, වෘෂණ කෝෂ වැනි අවයව වේදනාව හා ඉදිමීම යනාදි රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රදේශයේ ඇති බරවා මර්දන ඒකකයේ පරීක්ෂාවකට සහ ප්‍රතිකාර සඳහා යොමු වීම වැදගත් ය.