බද්ධ කිරීමට ඉතාම සුදුසු මට්ටමේ වකුගඩු 750 ක් පමණ සෑම වසරකදීම අනවබෝධය හේතුවෙන් අපතේ යැවෙන බව අනාවරණය වෙයි.
නිදන්ගත වකුගඩු රෝගය හේතුවෙන් වසරක දී 5000 ක් පමණ අලුතින් ප්‍රතිකාර ලැබීම සඳහා රෝගීන් රෝහල් වෙත පැමිණෙන අතර, එයින් බහුතරයක් අඩු ආදායම් සහිත පුද්ගලයන් ලෙසද හඳුනාගෙන තිබේ.
බද්ධ කිරීමට සුදුසු ගැළපෙන වකුගඩුවක් සපයා ගැනීමට නොහැකිවීමේ හේතුවෙන් මෙම රෝගීන් අවාසනාවන්ත ලෙස පීඩා විඳින අතර, මරණයට පත්වෙන බව වෘක්කමේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා පවසයි.
විශේෂඥ වෛද්‍ය රත්නසිරි ඒ. හේවගේ මහතා මෙසේද සඳහන් කරයි. "මොළය මිය යාම යනු සම්පූර්ණයෙන්ම මිය යෑමක් වන බැවින් මොළය මිය ගිය තැනැත්තා තවදුරටත් රෝගියෙකු සේ සැලකිය නොහැකියි. කෝමා තත්ත්වයට (සිහිමුර්ජා) පත් පුද්ගලයා එසේ නොසලකන අතර, මොළය මිය ගිය පුද්ගලයෙකු බවට තීරණය කිරීමට අදාළ වනුයේ පුද්ගලයාගේ මොළ දණ්ඩ සහ මස්තිෂ්කය යන කොටස් දෙකම අක්‍රීය වීමයි. එවන් අයෙකු නැවත කිසි දිනෙක් ජීවත් කිරීමට සමත් කිසිදු ප්‍රතිකාරයක් මෙතෙක් හඳුනාගෙන නෑ.
මොළය මිය ගිය බව හඳුනාගත් අයෙකුට දින කීපයක් කෘත්රීමව ස්වසන ආධාරක යන්ත්‍ර මගින් පෙනහලු ක්‍රියාත්මක කරවා හෘදය වස්තුව ප්‍රාණවත්ව තැබිය හැකියි. නමුත් මොළය නැවත ක්‍රියාකරවිය නොහැකි බව අනිවාර්යය කරුණක්.
එවන් අවස්ථාවක ස්වසන ආධාරක යන්ත්‍ර‘යෙන් ඉවත් කළ වහාම හෘදය වස්තුවද නැවතී යැයි මෙවන් අවස්ථාවක රෝගියාගේ ඥාතීන් එකඟතාවකට පත් වූවහොත් මිය ගිය තැනැත්තාගේ වකුගඩු සහ ජීව පටක දන්දී තවත් ජීවිතයක් බේරාගැනීමට හැකි නමුත් මේ පිළිබඳ දැනුම සමාජගත නොවීම හේතුවෙන් නිකරුණේ බද්ධ කිරීමට ඉතාම සුදුසු තත්ත්වයේ පවතින වකුගඩු විනාශ වී යෑම සිදුවෙනවා.
ස්වසන ආධාරක යන්ත්‍ර මත යැපෙන මිය ගිය පුද්ගලයාට මෙන්ම තම මරණයෙන් පසු වකුගඩු දන්දෙන්නට එකඟ අවුරුදු 65 ට අඩු පුද්ගලයන්ටද වකුගඩු රෝගීන්ගේ ජීවිත බේරාගැනීමට සුවිශේෂ දායකත්වයක් දැක්විය හැකියි.
මොළය මිය යන බව තීරණය කළ අවස්ථාවකදී අදාළ දැඩි සත්කාර ඒකකය හරහා හෝ පහත දැක්වෙන දුරකථන අංක ඔස්සේ රෝගියාගේ වකුගඩු දන්දීමට කැමැත්ත පළ කළ හැකිය.
මේ හැරෙන්නට තමන් මිය ගිය පසු වකුගඩු දන්දීම සඳහා කැමැත්ත පළ කිරීමට ජීවත්ව සිටින්නන්ටද හැකියාව පවතී. 0112422335, 0112422336, 0112422334 යන දුරකථන අංක හෝ [email protected] වෙතින් ඒ පිළිබඳව කටයුතු කළ හැකියි."
එමෙන්ම වකුගඩු රෝගය නිසා දුක් විඳීමින් මිය යන රෝගීන් නිදහස් සෞඛ්‍ය සේවය යටතේ මුදල් වියදම් කිරීමකින් තොරව ජීවත් කරවීම සඳහා නිකරුණේ අපතේ යවන වකුගඩු දන්දීමෙන් රජයට සහාය වන ලෙසද විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා සිටියේය.