ආමාශගත රෝගයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා මීගමුව රෝහලට ඇතුළුවූ රෝගියෙකුට දෑතේ ඇඟිලි දෙකක් අහිමි කරගෙන ගෙදර ඒමට සිදු වූ පුවතක් දංකොටුව ගෝනවිල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම අවසනාවන්ත සිදුවීමට මුහුණ දී ඇත්තේ දංකොටුව, ගෝනවිල මනත්තුරේ මාවතේ පදිංචි ජයකොඩිඅරච්චිගේ ජයවික්‍රම නමැති 56හැවිරිදි දෙදරු පියෙකි.
“පසුගිය වසරේ ඔක්තෝබර් මාසෙ බඩේ අමාරුවක් නිසා දංකොටුව රෝහලට ඇතුළත් වුණා. එතනින් මාව මීගමුව රෝහලට මාරු කළා. එහෙන් මට ශල්‍යකර්මයක් කරලා ගෙදර එවුවා.
මළපහ කරන්න පිටතින් බෑග් එකක් සවි කරලා තිබුණා. ඒක ගලවන්න එන්න කිව්වෙ පසුගිය ජුනි මාසෙ13 වෙනිදා. එදා ඒක අයින් කරලා මට ගොඩාක් කැක්කුම නිසා හා තුවාලෙවේලෙන්න කියලා අතේ මැණික් කටුව ළඟට බේත් එකක් විද්දා.ඒක විදපු ගමන්ම මගේ අත පණ නැතුව වගේ ගියා ලොකු කැක්කුමක් අවා. මට ඒක උහුලගන්න බැරි වුණා. මම නර්ස් නෝනාට කතා කරලා කිව්වා මගේ අතට ගොඩාක් අමාරුයි මේ විදපු බේත් එක හරිද කියලා.
ඒත් ඒ වෙලාවෙ එයලා ඒක ගණන් ගත්තෙනෑ. පහුවෙනිදා වාට්ටුවේ දොස්තර මහත්තයා ඇවිත් බලලා කීවා විදපු බේත් එක වැරදිලා මාව ඉක්මනින් කොළඹ ජාතික රෝහලට යවන්න කියලා. ජාතික රෝහලේ දොස්තර මහත්වරු බලලා කිව්වෙ ධමනියකට විදින්න ඕන බේත් එකක් ශිරාවකට විදපු නිසා මගේ අතේ ඇඟිලි බේත් එකේ සැරට පිච්චිලා කියලා. පසුගිය සැප්තැම්බර් මාසේ 24 වෙනිදා මගේ අතේ ඇඟිලි දෙකක් කපලා දැම්මා.
මම මේ ගැන මීගමුව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීතුමාට පැමිණිලි කළා. මීගමුව රෝහල් අධ්‍යක්ෂතුමාටත් මේ ගැන දැනුම් දුන්නා. මට මේ වුණ දේට සාධාරණයක් කරන්න. අපේ ජීවිත දැන් ගොඩාක් අසරණ වෙලා” යැයි ජයකොඩි සිද්ධිය විස්තර කරමින් පැවසීය.
මේ සම්බන්ධයෙන් විමසීමේදි මීගමුව මහ රෝහල් අධ්යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා මෙසේ පැවසීය.
“මම මෙහෙ වැඩ බාර අරන් තවම මාසයයි. මට ඔය වගේ පැමිණිල්ලක් ආවෙනෑ. කොහම වුණත් එම රෝගියාට පුළුවන් තමන්ට යම් අසාධාරණයක් වෙලා තියෙනවානම් පරීක්ෂණයක් ඉල්ලන්න.”
නයිනමඩම චන්දන ප්‍රනාන්දු