බංග්ලාදේශය තුළ තවදුරටත් ප්‍රහාර මාලාවක් දියත් කරන බවට IS ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් අනතුරු ඇඟවීමක් සිදුකර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
ඔවුන්ගේ නවතම වීඩියෝවකින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති අතර, ෂරියා ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරන තුරු මෙම ප්‍රහාර මාලාව ක්‍රියාත්මක වන බවත්, පසුගියදා ඩකා නගරයේ, ඉතාලි අවන්හලට එල්ල වූ ප්‍රහාරය එකී ප්‍රහාර මාලවේ එක් ක්ෂණික දසුනක් පමණක් බවත් එහි පවසා සිටී.
පසුගිය සිකුරාදා ඩකා නුවර ඉතාලි අවන්හලට ඇතුළු වූ ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් සිදුකළ ප්‍රහාරයෙන් විදේශිකයන් ඇතුළු 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් වැඩි පිරිස විදේශිකයන් වූහ. ඔවුන් ඉතාලිය, ජපානය, ඉන්දියාව හා ඇමෙරිකාව යන රටවල අය බව පසුව අනාවරණය කෙරිණි. එමෙන්ම, එම ප්‍රහාරයේදී පිරිසක් ජීවිත බේරාගැනීමට තරම් වාසනාවන්ත වූ අතර, ඒ අතර ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු පිළිබඳවද වාර්තා විය.
මේ අතර, ඩකා ප්‍රහාරයේදී ත්රස්තයන් 5 දෙනෙකුද මියගිය අතර, ඔවුන්ගෙන් ඇතමෙකු ප්‍රභූ පවුල්වල උසස් අධ්‍යාපනයක් හැදෑරූ අය බව පසුව හෙළි විණි.
"ඔබ බංග්ලාදේශයේ දුටුවේ ක්ෂණික දර්ශනයක් විතරයි... මේ දේ යළි යළිත් සිදුවේවි. ඔබලා පරාජය වී අප ජයග්‍රහණය කරන තුරු සිදුවේවි... ලොව පුරා ෂරියා නීතිය ක්‍රියාත්මක වනතුරු සිදුවේවි..." යැයි බංග්ලාදේශ ජාතික ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෙකු එම වීඩියෝවෙන් අනතුරු අඟවා සිටී.