පොහොර සහනාධාර ලෙස මුදල් ලබාදීමේ ක්‍රමය ඉතා අසාර්ථක බවත්, මෙම ක්‍රමය නිසා ගොවීන් ගොවිතැන් කටයුතුවලින් ක්‍රමක්‍රමයෙන් ඈත්වෙමින් පවතින අතර, මේ ක්‍රමය වෙනස් කිරීමට කාලය එළැඹ ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ගොවි සංවිධාන බලමණ්ඩලයේ සභාපති පී. එච්. සුසන්ත මහතා සඳහන් කර සිටියේය.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පසුගියදා රැස්වූ අවස්ථාවේ දීය.
එහිදී වැඩිදුරටත් අදහස් ඒ මහතා,
“වර්තමානයේ ගොවියා කෘෂිකාර්මික වගා කටයුතුවලින් ඈත් වන්නේ ගොවියාගේ උනන්දුව අඩු නිසා සහ ගොවියා කම්මැලි වී ඇති නිසා බවට නිලධාරීන් නිතරම චෝදනා කරනවා. ඒත් මෙහිදී කතා වෙන්නේ නැහැ ඇයි ගොවියා වගා කිරීමට උනන්දුවක් නැත්තේ කියා. ගොවියා කම්මැලි වෙච්ච මිනිහෙක් නෙවෙයි. එහෙම වෙලා තියෙනවා නම් ඒකට හේතුව ගොවීන්ගේ ප්‍රශ්නවලට ඍජු පිළිතුරු නොමැති වීම.
ඔවුන්ට විවිධ ප්‍රශ්න තියෙනවා. ප්‍රධානම ප්රශ්නය තමයි පොහොර සහනාධාර ලෙස මුදල් ලබාදීමේ ක්‍රමය. මේ පොහෙර සහනාධාර ලබාදීමේ ක්‍රමය නිසා ගොවියා ගොවි සංවිධානවලින් ඈත් වෙලා තියෙනවා. කලින් ක්‍රමයට අනුව ගොවියාට ගොවි සංවිධාන හරහා පොහොර ලැබුණා. එවිට ගොවීන් සහ ගොවි සංවිධාන අතර බැඳීමක් තිබුණා. දැන් ගොවීන් යන්නේ නගරයේ තියෙන බැංකුවකට සල්ලි ගන්න. මේ සල්ලි ගත්තම එයින් සියයට පනහක් වත් පොහොර සඳහා යෙදවෙනවාදැයි සොයා බැලීම අවශ්‍යයි.
කලින් ක්‍රමයට අනුව ගොවියා පොහොර ලබා ගැනීම සඳහා ගොවිජනසේවා මධ්‍යස්ථානයට ආවා. එහිදී නිලධාරීන් හමුවෙනවා. ඔවුන්ගේ ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් ලබා ගන්නවා. වගාවන් ගැන උපදෙස් ලබා ගන්නවා. දැන් ඒ කිසිවක් නැහැ. අන්තිමේ ගොවියාට දොස් කියනවා වගා කරන්න උනන්දු නෑ කියලා.
මේ මුදලින් ගොවිජන සේවා කාර්යාල හරහා පොහොර නොමිලේ දෙන්න පුළුවන්. අපි යෝජනා කරනවා පොහොර සහනාධාර සඳහා මුදල් ලබාදීමේ ක්‍රමය වෙනස් කරන්න කියලා” යනුවෙන් සඳහන් කර සිටියේය.