පොසොන් සතියේ අනුරාධපුරයේ මත් පැන්, මත් ද්‍රව්‍ය හා මස් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන ලෙස උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බව පැවසෙයි.
අනුරාධපුර මහ ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති පොසොන් කමිටු සාකච්ඡාවේදි අමාත්‍යවරයා එම අදහස් පළකර තිබේ.
එහිදී අදහස් දැක්වූ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා “මෙවර පොසොන් සතිය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවත් වෙනවා. පොසොන් සතියේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්ෂ 20-25ක් අතර වන්දනාකරුවන්ට ආරක්ෂාව සෞඛ්‍ය හා අනෙකුත් සියලු පහසුකම් ලබා දිය යුතුයි. වැව්වල වතුර ප්‍රශ්නයක් විය හැකි අතර එය සෞඛ්‍යටද බලපෑ හැකියි. දන්සල් ප්‍රමාණය වැඩිවන විටද සෞඛ්‍ය ප්‍රශ්න ඇතිවිය හැකියි. ප්‍රවාහන හා නවාතැන් ප්‍රශ්න පිළිබඳවද විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.
විශේෂයෙන්ම පොසොන් සතියේ මස්කඩ හා සුරාසැල් වසා දැමුවත් පසුගිය කාලයේ අප ලැබූ අත්දැකීම් අනුව කූට වෙළෙඳුන් මස්, මත්පැන් හා මත් ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකළා. නමුත් මෙවර පොසොන් සතියේ මස්, මත්පැන් හා මත් ද්‍රව්‍ය අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු බවට පොලිසියට හා සුරාබදු නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නා." යැයි පවසා සිටියේය.
අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයේද අනුරාධපුර මහා දිසාපති ප්රමුඛ රාජ්‍ය නිලධාරින්ගේද මග පෙන්වීම අනුව වන්දනාකරුවන්ට උපරිම පහසුකම් සලසා දීමට තම වගකීම් නිසි ලෙස ඉටුකිරීම සඳහා අදාළ අංශ සියලු දෙනාම කටයුතු කළ යුතු බවටද ප්‍රධාන අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.