පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය ක්‍රමවත්ව සකස් කරන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා උපදෙස්දී තිබේ.
අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් සමග පෙරේදා (28) පැවති සාකච්ජාවකදීය.
දැනට පවතින උසස්වීමේ පටිපාටිය හේතුවෙන් පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත්, ඇතැම් පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරු අවුරුදු විස්සක් පමණ එකම නිලයේ සිටින අතර ඔවුන්ට උසස්වීම් නොලැබීම කනගාටුවට කරුණක් බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.
එපමණක් නොව උප පොලිස් පරීක්ෂකවරුන්ටද මෙම කනගාටුදායක තත්ත්වය අත්ව ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
මෙම තත්ත්වය හේතුකරගනිමින් පොලිස් නිලධාරීන් අතර රාජකාරී කිරීමේදී සිය සේවය පිළිබඳව උද්යෝගයක් නොමැති බව පෙන්වා දුන් රත්නායක මහතා, ජනතාවට සමීප සේවාවක් සිදුකරන ශ්‍රී ලංකා පොලීසිය තුළ නිලධාරීන්ගේ සිය වෘත්තීයට ඇති උද්යෝගය ඉතාමත් වැදගත්වන බවද ප්‍රකාශ කළේය.
එමනිසා ඉදිරි මාස හතරක කාලසීමාව තුළ පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් පටිපාටිය පිළිබඳව ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස්කර තීරණයක් ගන්නා ලෙසද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අතර, මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසම සමගද සාකච්ඡා කර අවශ්‍ය පියවර ගන්නා ලෙස සඳහන් කළේය.
එමෙන්ම පොලිස් උසස්වීම් සම්බන්ධයෙන් අධිකරණය තුල විභාගය වන නඩුද කඩිනමින් අවසන් කිරීමට පියවර ගන්නා ලෙසයි සාගල රත්නායක අමාත්‍යවරයා උපදෙස් දෙනු ලැබුවේ.