වාර්ෂිකව සිදුවන පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් මේ වසර තුළ තවමත් සිදුනොවීම නිසා දුෂ්කර පළාත්වල සේවය කරන පොලිස් නිලධාරීන්ට දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙන බව වාර්තා වේ.
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට වාර්ෂික පොලිස් ස්ථාන මාරුවීම් 10,000 ක් සිදුකිරීමට සැලසුම් කළත්, පැවති ජනාධිපතිවරණය නිසා එය කල් දැමීමට සිදුවිය.
මෙලෙස ස්ථාන මාරුවීම් ලබාගැනීමට සුදුසුකම් ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් බහුතරයක් උතුරු නැගෙනහිර ප්රදේශවල සේවය කරන පිරිස් වන අතර, මේ ආකාරයට ස්ථාන මාරුවීම් අතරමග නැවතීයාමත් සමග උතුරු නැගෙනහිර ප්රදේශවල සේවය කරන බොහෝ පිරිසකට තවමත් තමන් ඉල්ලුම් කළ ප්රදේශවලට ස්ථාන මාරුවීම් ලබාගැනීමට නොහැකි වී ඇත.
ජනවාරි 01 වැනිදා සිදුවිය යුතු ස්ථාන මාරුවීම් ජනපතිවරණය නිසා එදින සිදුනොකළත් ඉන් පසුව එම කටයුත්ත සිදුකිරීමට අවස්ථාව තිබූ බවත්, එහෙත් එම කටයුත්ත මෙතෙක් සිදුවී නොමැති බවත් පොලිස් නිලධාරීහු සඳහන් කරති.
අඩුම තරමින් ස්ථාන මාරුවීම් ක්රියාත්මක වන දිනයවත් මෙතෙක් ප්රකාශයට පත්කර නොමැති බව එම පිරිස් පවසති.