රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධා කර ඔවුන්ට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඊයේ (17දා) අලුයම සිට කළ වැටලීමකින් මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ සැකකරුවන් 15 දෙනෙකු හා සැකකාරියන් 3 දෙනෙකුය.
පෙරේදා (16දා) රාත්රියේදී ගංජා නීති විරෝධී අන්දමින් ළග තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන රැගෙන යන අවස්ථාවේදී සැකකරුගේ ඥාතීන් හා අවට සිටි පිරිස් එක්ව බලහත්කාරයෙන් සැකකරු මුදාගෙන රාජකාරියේ නිරතව සිට පොලිස් නිලධාරීන් 6 දෙනෙකුට පහරදී ඇත.
පහරකෑමෙන් තුවාල ලත් පොලිස් නිලධාරීන් සම්පත් නුවර රෝහලට ඇතුළත්ව නේවාසිකව ප්රතිකාර ලබන අතර පසුව පොලීසිය කළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
අත්අඩගුංවට පත් සැකකරුවන් 12 දෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (17දා) කැබිතිගොල්ලෑව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. අනෙක් සැකකරුවන් තිදෙනා හා සැකකාරිය අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.