(UPDATE) කොළඹ මහනුවර මහා මාර්ගයේ පස්යාල හන්දිය ආසන්නයේදී අද (12දා) අලුයම පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් ඇත.
රැකවල් රාජකාරියේ යෙදී සිටි පොලීසිය මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරුපැදියකට වෙඩි තබා ඇති අතර, එම යතුරුපැදිය පැදවූ කිතුල්වල පදිංචිකරුවෙකු බව කියන ඉන්දික ජයසිංහ නම් 23 හැවිරිදි තරුණයා මෙලෙස මරණයට පත්ව තිබේ.
මියගිය අය ඔහුගේ මිතුරෙකු සමග නිට්ටඹුවට ගොස් ආපසු එමින් සිටියදී මෙම සිද්ධියට මුහුණපා ඇතැයි හෙළි වී ඇත. පස්යාල මහ විදුහල් සීමාව පසුකර එද්දී පාරේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මෙම යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කර ඇති බවත්, ඒ අනුව යතුරුපැදිය නැවැත්වූ පසු ගිනිඅවියක් අතැතිව සිටි පොලිස් නිලධාරියෙකු යතුරුපැදිය සමීපයට ගිය අවස්ථාවේ වෙඩි පහරක් එල්ල වී ඇති බවත් මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.
යතුරුපැදියේ පිටුපස ගමන්ගත් හිරිවිටියලාගේ විජිත් චතුරංග නොහොත් සචී නැමැති තරුණයාද කම්පනයට පත්ව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබයි.
මියගිය අයගේ කිහිල්ල ප්රදේශයට වෙඩිපහර වැදී ඇති බව අනාවරණය වී ඇති අතර, ගිනිඅවිය සිරුරට ඉතා සමීපයේ තිබියදී වෙඩි උණ්ඩය නිකුත්වී ඇතැයි පොලීසිය සැකකරයි. පොලිස් නිලධාරියා සිතාමතාම වෙඩි තැබුවාද, එසේ නැතිනම් ඔහු අත තිබූ ගිනිඅවිය අපරීක්ෂාකාරී අන්දමින් භාවිත කිරීම නිසා ඉබේ පත්තුවූවාදැයි හෙළිකරගැනීමටද පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මීරිගම කාන්ති