පොලිස් පරීක්ෂණ නිසා විශ්‍රාම වැටුප් මසකට මිලියන 700ක් ඉතිරි වෙයි
8 දෙනෙකු වංචා කළ මුදල ලක්ෂ 256ක්
ප්‍රාදේශීය කාර්යාල 07ක වංචාව සිදුවෙලා
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් වංචා කරන පුද්ගලයන් පිළිබඳව සොයාබැලීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙහෙයුම් දියත් කිරීම නිසා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට මාසයකට රුපියල් මිලියන 700 ක ඉතිරියක් සිදුව තිබෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
පොලිස් මෙහෙයුම් දියත් කිරීම නිසා ඉන් බියට පත් වංචාකාරී පිරිස් විශ්‍රාම වැටුප් වංචා කිරීම අතහැර දැමීම නිසා මෙම මුදල් ප්‍රමාණය ඉතුරු වී තිබෙන බවත්, මේ පිළිබඳව විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල්වරයාද තහවුරු කර තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
පසුගිය මාස තුනක කාලය තුළදී පොලිස් මෙහෙයුම් 07 ක් සිදුකර තිබෙන බවත්, එහිදී දකුණු පළාත් සභාවේ හිටපු ලේකම්වරයෙකු ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මෙම පිරිස පමණක් විශ්‍රාම වැටුප් මුදල් රුපියල් දෙකෝටි පනස් හයලක්ෂ හැට දෙදහසක් (25,662,000) වංචා කර තිබෙන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මෙම මුදල වංචා කර තිබුණේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 07 ක් තුළින් මුදල් ලබාගැනීමේදී බවද හෙතෙම පවසා සිටියේය.
විශ්‍රාම වැටුප් වංචා කරන්නන් සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත්, මෙහෙයුම්වලට බිය වී විශ්‍රාම වැටුප් මුදල් වංචා කිරීම නවතා දැමුවද ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

