මාදුළුවාවේ සෝභිත හිමියෝ එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු භික්ෂූන් වහන්සේලාට කියති
පොදු අපේක්ෂකයා ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි එක්සත් ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු විවිධ සංවිධාන නියෝජනය කරන ස්වාමීන් වහන්සේලා පිරිසක් පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් ඊයේ (06දා) කළ ඉල්ලීමකදී, “ඉස්සෙල්ලා රනිල් වික්‍රමසිංහ විපක්ෂනායකතුමාගේ අදහස් දැනගෙන එන්නැයි* සෝභිත හිමියෝ අවධාරණය කර සිටියහ.
ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ කෝට්ටේ නාග විහාරයේදීය.
මෙම අවස්ථාවට සම්බන්ධ වූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක පූජ්‍ය ගිරාඹේ ආනන්ද, එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ මහලේකම් පූජ්‍ය තිනියාවල පාලිත, එහි සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්වර යන හිමිවරුන් දිගින් දිගටම සෝභිත හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වන බවට රටට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකරන ලෙසයි.
ඉන්පසුව දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, බුද්ධිමතුන් ඇතුළු රටේ බහුතරයකගේ සහාය ලැබෙනු ඇති බවත්, ජනාධිපතිවරණයට තවත් ඇත්තේ කුඩා කාලයක් බැවින් කල් නොයවා ඉතා ඉක්මනින් අදහස් ඉදිරිපත් කරන ලෙසත් උන්වහන්සේලා දිගින් දිගටම සෝභිත හිමියන්ගෙන් ඉල්ලා සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ සෝභිත හිමියන් සඳහන් කළේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නට නම් රනිල් වික්‍රමසිංහ මහතා සමග ගමනක් යායුතු බවයි. එබැවින් ඔහුගේ අදහස් වැදගත් බවත්, ඉතා ඉක්මනින් ඔහු මුණගැසී එම අදහස දන්වන ලෙසත් උන්වහන්සේ පැවසූහ.