පොතුහැර දුම්රිය ස්ථානයේ සිදු වූ දුම්රිය අනතුරින් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ දහසකට අධික අලාභයක් සිදුව තිබෙන බව වාර්තා වේ.
මෙහිදී දුම්රිය දෙක ගැටීම නිසා දැයට කිරුළ සහ රජරට රැජින දුම්රිය දෙකේ එංජින් දෙකටම බරපතළ හානි සිදුව තිබෙන අතර, ඒවායෙහි වටිනාකම රුපියල් ලක්ෂ 400කට අධික බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
දුම්රිය දෙක ගැටීම නිසා පොතුහැර දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ගයට හා සංඥා පද්ධතිවලට හානි සිදුව තිබෙන අතර, ඒවා යථා තත්ත්වයට පත්කිරීමට සහ අලාභහානි සිදුවූ සියලුම දේපළ වටිනාකම රුපියල් ලක්ෂ 400 ඉක්මවන බවද වාර්තා වේ.
මීට අමතරව උතුරු දුම්රිය මාර්ගය තාවකාලිව වසා දැමීමට සිදුවීම නිසා දුම්රිය ගමන්වාර 20කට අධික ප්‍රමාණයක් අවලංගු වී තිබෙන අතර, එම ගමන්වාරවලින් උපයාගන්නා මුදල සහ එම ගමන්වාර වෙනුවෙන් වෙන්කරගත් ප්‍රවේශපත්‍රවලට නැවත මුදල් ගෙවීමට ආසන්න වශයෙන් ලක්ෂ 200කට අධික මුදලක් වැය වන බවද තොරතුරු අනාවරණය වෙයි.
මෙම මුදල් ප්‍රමාණයට අමතරව අනතුරින් තුවාල ලැබූ සියලුම මගීන්ට වන්දි මුදල් ලබාදීමට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙන අතර, ඒ සඳහා වැයවන මුදල් ප්‍රමාණය කොතෙක්දැයි මෙතෙක් ගණනය කර නොමැත.