පෙට් ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට සමස්ත ශ්‍රී ලාංකිකයන් එක්වූවාක් මෙන් ජාති කුල ආගම් භේදයකින් තොරව සියලු දෙනා එක්වුවහොත් ලොව කිසිදු රටකට යටත් නොවන රටක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත හැකි යැයි මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම වෙනුවෙන් අරමුදල් රැස් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ කඩීජා පදනමේ සභාපති ඒ.ඒ.එස්.එච්. මොහොමඩ් මහතා පැවසීය.
පෙට් ස්කෑනරය මිලදී ගැනීම වෙනුවෙන් වූ අරමුදලට මුදල් තැන්පත් කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට ස්තූති කිරීම වෙනුවෙන් ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
රුපියල් 50 ක මුදලේ සිට රුපියල් මිලියන ගණනින් වූ අරමුදල් තැන්පත් කළ සියලුම ජනතාවටත්, ඒ සඳහා ජනතාව දැනුම්වත් කළ විජය පුවත්පත් සමාගමේ උප සභාපති සුජාන් විජයවර්ධන මහතා ඇතුළු විජය පුවත්පත් සමාගමේ සියළුම පුවත්පත් වලටත් දෙරණ මාධ්‍ය ආයතනයටත් ලේක්හවුස් ආයතනය ඇතුළු සියලුම මාධ්‍යයන්ටද ඔහු එහිදී ස්තූතිය පළකර සිටියේය.
මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් මිලදී ගැනීමට රුපියල් මිලියන 200 ක් එකතු කර ගැනීම් අරමුණින් ඇරඹි මෙම අරමුදල එම මුදල් ප්‍රමාණයද ඉක්මවා යමින් මේ වනවිට රුපියල් මිලියන 233 ක් බවට පත්වී ඇති බවත්, මෙලෙස එකතු වූ මුදල් රෝහලේ අනෙකුත් අඩුපාඩු ඇති උපකරණ මිලදී ගැනීම වෙනුවෙන් තවදුරටත් දෙවැනි අදියරක් වශයෙන් ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පැවසීය.
මෙලෙස 2020 වර්ෂය වනවිට මහරගම අපේක්ෂා පිළිකා රෝහල දකුණු ආසියාවේ විශිෂ්ටතම පිළිකා රෝහල බවට පත්කර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
ඡායාරූප ශමීර රාජපක්ෂ