ශ්‍රී ලංකාව තුළ පුවත්පත් අලෙවි වීම වර්ධනය වී ඇති බව රජය විසින් කරන ලද අධ්‍යයනයකදී හෙළිව තිබේ. ඒ අනුව දිනපතා සිංහල හා ඉංග්‍රීසි පුවත්පත් අලෙවිය අඛණ්ඩව වර්ධනය වෙමින් තිබෙන බවද එහිදී අනාවරණය වී ඇත.
මහ බැංකුවේ ආර්ථික හා සමාජ දත්ත ප්රකාශනයේ මේ බව දැක්වෙන අතර, 2015 වසරේදී පුවත්පත් මිලියන 508.08ක් අලෙවි වී ඇති අතර, 2016 වසරේදී එය මිලියන 538.82ක් දක්වා වර්ධනය වී තිබේ.
මෙය ලෝකයේ තත්ත්වය අනුව වෙනස් මගක් වන අතර, බොහෝ රටවල් තුළ පුවත්පත් අලෙවිය අඩුවන තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ මෙම වර්ධනය සිදුව ඇත.
පුවත්පත් කියවන්නන් වෙබ් අඩවි, සමාජ මාධ්‍ය, පුවත් යෙදුම් හා ඩිජිටල් රූපවාහීනි වෙත යොමුවන අවස්ථාවක ශ්‍රී ලංකාවේ පුවත්පත් අලෙවිය වර්ධනය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ පුවත්පත් කියවන්නන්ගේ සංඛ්‍යාව වර්ධනය වීමට හේතුව පැහැදිලි නොවුණද, ශ්‍රී ලංකාවේ වයස්ගත ජනතාව වර්ධනය වෙමින් තිබෙන අතර, ඔවුන්ට පුවත්පත් කියැවීම සඳහා අමතර කාලයක්ද තිබේ.
මහ බැංකු දත්ත අනුව දිනපතා පුවත්පත් අලෙවිය 2015 වසරේදී මිලියන 383.13ක් ලෙසත්, 2016 වසරේදී එය මිලියන 411.76ක් දක්වාත් වර්ධනය වී ඇති බව පෙන්වයි.
වසරක් තුළ දිනපතා පුද්ගලයන් 1000ක් අතරින් 58 දෙනෙකු පුවත්පත් මිලදී ගැනීම 1000කට 62ක් දක්වා වර්ධනය වී තිබේ. මෙහිදී වැඩිම අලෙවියක් සිදුව ඇත්තේ දිනපතා සිංහල පුවත්පත් වන අතර, එය මිලියන 226.49 සිට මිලියන 259ක් දක්වා වර්ධනය වී තිබේ. ඉංග්‍රීසි පුවත්පත් අලෙවිය මිලියන 80.73 සිට මිලියන 91.8ක් දක්වා වර්ධනය වී ඇත. දිනපතා දමිළ පුවත්පත් අලෙවිය මිලියන 60.97 සිට මිලියන 75.91ක් දක්වා වර්ධන වී තිබේ.
සති අන්ත පුවත්පත් අලෙවිය සලකා බැලීමේදී එය මිලියන 124.95 සිට මිලියන 127.06ක් දක්වා වර්ධන වී තිබේ. වසරක් තුළ පුද්ගලයන් 1000ක් අතරින් පුද්ගලයන් 115ක් සති අන්ත පුවත්පත් මිලිදී ගෙන තිබෙන අතර, 2015 හා 2016 වසරේදී එම අගය ස්ථාවර වී ඇත. සිංහල සති අන්ත පුවත්පත් අලෙවිය මිලියන 124.95 සිට මිලියන 127.06ක් දක්වා වර්ධනය වී ඇති අතර, ඉංග්‍රීසි සති අන්ත පුවත්පත් අලෙවිය මිලියන 22.49 සිට මිලියන 24.45ක් දක්වා වර්ධන වී තිබේ. දමිළ සති අන්ත පුවත්පත් අලෙවියද මිලියන 19.32 සිට මිලියන 21.65ක් දක්වා වර්ධන වී ඇත.