(UPDATE) පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේදැයි සැකයක් මතුව තිබේ. ගුවන්යානයේ සිටි මගී ලැයිස්තුවේ දෙදෙනෙකු සැබවින්ම ගුවන් යානයේ නොවීම ඊට හේතුවයි. ඉතාලි හා ඔස්ට්‍රේලියානු ජාතිකයන් වූ ඔවුන් මීට වසර කිහිපයකට පෙර තම ගුවන්ගමන් බලපත්‍ර තායිලන්තයේදී සොරාගෙන ඇති බව පැමිණිලි කර තිබුණි. නමුත්, අතුරුදන් වූ යානයෙන් එම ගුවන්ගමන් බලපත්‍ර යොදාගනිමින් පුද්ගලයන් දෙදෙනෙකු ගමන් කර තිබීම තුළ මෙම සැකය ඇතිවී තිබේ.
පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා ආසියානු රාජ්‍යයන් කිහිපයක්ම දකුණුදිග චීන මුහුදු කලාපයේ ඒකාබද්ධ ගුවන් හා නාවික මෙහෙයුම් සිදුකරමින් සිටී. ඊයේ රාත්‍රියේ ගුවන් මෙහෙයුම් පමණක් තාවකාලිකව නතර කළද, අද උදෑසන නැවත එය ආරම්භ කර තිබේ. කෙසේ වෙතත් නාවික මෙහෙයුම් අඛණ්ඩව සිදුවූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය දකුණුදිග චීන මුහුදට කඩා වැටී ඇති බව වියට්නාම රජයේ මාධ්‍ය විසින් එරට නාවික හමුදාව උපුටා දක්වමින් ඊයේ උදෑසන වාර්තා කළේය.
කෙසේ වෙතත් මැලේසියානු ගුවන් සමාගම ඒ වනවිට එම තොරතුර සනාථ කර නොතිබුණි. ඒ වන විටත් චීනය විසින් ගුවන්යානය පිළිබඳ තොරතුරක් සොයා දකුණුදිග චීනය වෙත නෞකා දෙකක් පිටත්කර කළ බවද සී.සී.ටී.වී. නාලිකාව පැවසීය.
මෙම තොරතුර සනාථ වන්නේ නම් ඇමෙරිකාවේ නිෂ්පාදිත ගුවන්යානා සිය වසර 19 ක සේවා කාලයේ මුහුණ දුන් දරුණුතම අනතුර මෙය වනු ඇති බවද පැවසෙයි.
චීනයේ බෙයිජිං නුවර බලා ගමන් කරමින් තිබූ මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පුද්ගලයින් 239 දෙනෙකු සමග අතුරුදන්ව ඇති බව මීට පෙර විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
නිවේදනයක් නිකුත් කරන මැලේසියානු ගුවන් සමාගම පෙන්වා දෙන්නේ එම්.එච්.370 දරණ මෙම ගුවන් යානය ග්‍රිනීච් වේලාවෙන් සිකුරාදා සවස 6.40 ට පමණ රේඩාර් පද්ධතියෙන් ගිලිහී ගොස් ඇති බවයි.
එය බෙයිජිං නුවර වෙත ගොඩබැස්සවීමට තිබුනේ ග්‍රිනීච් වේලාවෙන් රාත්‍රී 10.30 ටය. ගුවන් යානය අතුරුදන් වී ඇත්තේ මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවරින් ගුවන්ගත වී පැය දෙකකට පමණ පසුවය.
මැලේසියානු ගුවන් සමාගම වැඩිදුරටත් පවසා සිටියේ තම නිලධාරීන් අදාළ බලධාරීන් සමග එකතුව ගුවන් යානය සෙවීමේ කටයුතු මේ වනවිටත් අරඹා ඇති බවයි.
එමෙන්ම, ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ සහ සේවකයන්ගේ ඥාතීන්ටද මේ වනවිටත් කතා කිරීමට ගුවන් සමාගම කටයුතු කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
බෝයිං බී777-200 වර්ගයේ ගුවන් යානය මගීන් 227 දෙනෙකු සමග ගමන් කරමින් තිබුණු අතර, දරුවන් දෙදෙනෙකුද එහි සිට ඇත. එහි මගීන් රටවල් 13කට අයත් මගීන් බවද කියැවෙයි. මේ අතර, කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුද ගුවන් යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිටි බව මැලේසියානු ගුවන් සමාගම කියයි.
ෂිංහුවා පුවත් ඒජන්සිය පෙන්වා දෙන්නේ වියට්නාමය විසින් පාලනය කරන ගුවන් කලාපයේදී ගුවන් යානය අතුරුදන්ව අති බවයි.