(UPDATE) පුද්ගලයන් 295ක් සමග මැලේසියානු ගුවන් සේවයට අයත් බෝයිං 777 යානයක් රුසියානු දේශසීමාව ආසන්නයේ යුක්රේනය වෙත ඊයේ (17දා) කඩා වැටී ඇති තිබුණි.
මෙම යානය නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලා ලම්පූර් නුවර බලා ගමන් කරමින් පැවති MH17 නමැති මැලේසියානු ගුවන් යානය බව හඳුනාගෙන ඇති අතර, මැලේසියානු ගුවන් සේවය පවසන්නේ ඇම්ස්ටර්ඩෑම් සිට ගුවන්ගත වූ යානයේ සබඳතාව බිඳ වැටෙමින් යානය අතුරුදන් වූ බවයි.
යානය අවසන් වරට පැවතී ඇත්තේ යුක්රේනයට ඉහළිනි. යානයේ ගමන් කළ මගීන් 280 සහ කාර්ය මණ්ඩලයේ 15 ඇතුළු සියලු දෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවට විශ්වාස කෙරෙයි. මියගිය පිරිසෙන් දැනට හඳුනාගෙන ඇති මගීන් අතර නෙදර්ලන්ත ජාතිකයන් 154ක්, ඔස්ට්‍රේලියානු ජාතිකයන් 27ක්, මැලේසියානු ජාතිකයන් 23ක්, ඉන්දුනීසියානු ජාතිකයන් 11ක්, බ්‍රිතාන්‍ය ජාතිකයන් 6ක්, ජර්මානු ජාතිකයන් 4ක්, බෙල්ජියම් ජාතිකයන් 4ක්, පිලිපීන ජාතිකයන් 3ක් හා එක් කැනේඩියානු ජාතිකයෙක් සිටින බව පවසයි. මියගිය කාර්ය මණ්ඩලයේ සියලු දෙනා මැලේසියානුවන්ය.
රුසියානු ගුවන් සීමාවට ඇතුළු වීමට විනාඩි 20කට පෙර භූමියේ සිට ගුවනට එල්ල කරන BUK මිසයිලයක් අඩි 33,000ක් ඉහළින් ගමන් කළ ගුවන් යානයට එල්ල කර ඇති බව විශ්වාස කළ හැකි බව යුක්රේන අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය කියයි. නමුත් මෙය තවමත් තහවුරු කර නොමැත.
සැහැල්ලු ගුවන් යානා, කෘස් මිසයිල සහ ඩ්‍රෝන යානා ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ මිසයිලයක් ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත් මීට පෙර රුසියාවේ මොස්කව් බලධාරීන් පෙන්වා දී තිබුනේ නැගෙනහිර යුක්රේනයේ කඩා වැටුණු ගුවන් යානයක් ගිනිගෙන දැවෙන අයුරු තමන් නිරීක්ෂණය කළ බවයි. එමෙන්ම, යානය රුසියානු ගුවන් සීමාවට පැමිණීමට අපොහොසත් වී ඇති බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී තිබුණි.
මෙම කඩා වැටුණු යානය ගමන් කරමින් පැවති කලාපය යුක්රේනයේ ගැටුම් පවතින කලාපයක් වන අතර, රුසියානු හිතවාදීන් විසින් මෙම කලාපයේදී යුක්රේන ගුවන් හමුදා යානා කිහිපයක්ම වෙඩි තබා බිම හෙළා තිබුණි.
මේ තත්ත්වය තුළ මෙම යානයද රුසියානු හිතවාදීන් විසින් බිම හෙළා ඇති බවට යුක්රේන ජනාධිපතිවරයාද සැක පළ කර තිබේ. එමෙන්ම, තම හමුදාවන් කිසිම අවස්ථාවක භූමියේ සිට ගුවනට හෝ ගුවනේ සිට ගුවනට කිසිදු මිසයිල ප්‍රහාරයක් එල්ල නොකර බවද හෙතෙම අවධාරණය කර ඇත.
මේ අතර, රුසියානු හිතවාදී කැරලිකරුවන්ද පවසන්නේ තමන් කිසිම ආකාරයක මිසයිල ප්‍රහාරයක් එල්ල නොකළ බවය.
ඇමෙරිකානු ජනාධිපති බරැක් ඔබාමා මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ යානයට සිදුවූයේ කුමක්ද හා ඒ කවර හේතුවක් නිසාද යන්න සොයා බැලීමට ඕනෑම ආකාරයක සහායෝගයක් දැක්වීමට ඇමෙරිකාව සූදානම් බවය.
එමෙන්ම, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය බලවත් ශෝකය මැලේසියානු අගමැතිවරයා වෙත පවසා ඇති බවද වාර්තා වෙයි.
මේ වනවිට ලොව සියලුම ගුවන්සේවා පවසා සිටින්නේ ඔවුන් තම ගුවන් ගමන් නැගෙනහිර යුක්රේන ගුවන් කලාපය මගහැර සිදුකරන බවයි.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන් වීමේ අභිරහසින් ලොවම වෙලී පවතින කාලවකවානුවක, තවත් මැලේසියානු යානයක් මේ ආකාරයෙන් විනාශ වීම බොහෝ දෙනා තුළ දැඩි විමතියක් ගෙන දෙන සිදුවීමක් බවට පත්ව තිබේ.
යානය කඩා වැටුණු කලාපයේ දුම් වළාවන්
BUK මිසයිල පද්ධතියක්