පුත්තලම රෝහලේ හෙද නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීමට කටයුතු නොකිරීමට එරෙහිව අද උදේ 7.00 ට ආරම්භ කළ හෙද වැඩ වර්ජනයට අද දිනය තුළ නිසි විසඳුම් නොලැබුණු නිසා විසඳුම් ලබාදෙන තෙක් අඛණ්ඩව සිදු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.
ස්ථාන මාරුවීම් 35 ක් සිදුකිරීමට රෝහලට හෙද නිලධාරීන් 35 දෙනෙකු ලබාදී තිබුණත් ස්ථාන මාරුවීමට අවසර ලබාදී තිබෙන්නේ හෙද නිලධාරීන් 10 දෙනෙකුට පමණක් බව එම සංගමයේ සභාපති ගාමිණී කුමාරසිංහ මහතා සඳහන් කළේය.
මේ නිසා ඉතිරි හෙද නිලධාරීන් 25 දෙනාටත් ස්ථාන මාරුවීම් ලබාදෙන ලෙස ඉල්ලා අද (22දා) උදේ 7.00 සිට රෝහලෙහි වැඩවර්ජනයක් දියත් කළ බවද ඔහු පවසා සිටියේය.