පුත්තලම, පාලවිය මංසන්ධියට නුදුරින් පිහිටි අබලි යකඩ වෙළෙඳ සැලක අද (04දා) උදෑසන සිදු වූ පිපිරිමකින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ අදාළ වෙළෙඳ සැලේ සේවය කළ 29 හැවිරිදි තරුණයෙකි.
මරණකරු අදාළ වෙළෙඳ සැලේ තිබූ කිසියම් ද්‍රව්‍යයක් තැලීමට උත්සාහ කිරීමේදී මෙම පිපිරීම සිදුව ඇතැයි හෙළිව තිබේ.
පිපිරීමෙන් අදාළ තරුණයා අඩි ගණනාවකට විසිවී ගොස් වැටී තිබූ අතර, ගොඩනැගිල්ලේ වහලයේ සිදුරු දැකගත හැකිවිය.
අදාළ ස්ථානය රජයේ රසපරීක්ෂකවරයාගේ පරීක්ෂාවට යොමු කිරීමට කටයුතු කරන බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පුත්තලම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත පුත්තලම මූලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු අපරාධ විමර්ශන අංශ නිලධාරීන්ගේ මෙහෙය වීමෙන් පුළුල් විමර්ශන අරඹා තිබේ.