මිනුවන්ගොඩ - කටුනායක මාර්ගයේ පීල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක් අසලදී අද (24දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් පාතාල කල්ලි සාමාජිකයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, උත්නාරුව ප්‍රදේශයේ පදිංචිකරුවකුවූ ලොකු අරුමගේ සුසන්ත ප්‍රදීප් සිල්වා (අවු.38) නොහොත් ප්‍රෙඩී නැමැත්තෙකි.
මරණකරු අපරාධ ගණනාවකට සම්බන්ධ බවත්, සිද්ධිය වූ නිවාස සංකීර්ණයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටි බවත් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.