"අපි ප්රජාතන්ත්රවාදී නිදහස උදා කරලා දුන්නාහම ඒ අයගේ සුළඟ එක එක තැන්වලින් හමනවා. ඒත් නැගිටින්න වෙන්නේ හොරුත් සමග හෙළුවෙන්" යැයි කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ, දෙහිවල ප්‍රදේශයේ පැවැති ජනහමු කීපයකදීය.
" පසුගිය ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව යහපාලනය ගේන්න, ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරන්න, අල්ලස, දූෂණය, නාස්තිය නැති කරන්න, රාජපක්ෂ පාලනය ගෙදර යැව්වා. ඒ කියන්නෙ මහින්ද රාජපක්ෂ මහත්තයා විතරක් නෙමෙයි පැරැද්දුවේ ඒමහතා එක්ක හිටපු එතනෝල්වලට චෝදනා ලබපු අය, කුඩුවලට චෝදනා ලබපු අය, මිනීමැරුම්වලට චෝදනා ලබපු අය, සුදු ඇඳගෙන හොරකම් කරපු අය. දැන් ප්රජාතන්ත්රවාදී නිදහස උදා කරලා දුන්නහම ඒ අයගේ සුළඟ එක එක තැන්වල හමන්න පටන් අරගෙන. ඒ අයට සුළග එක්ක නැගිටින්න වෙන්නේ හොරුත් සමග හෙළුවෙන් නැගිටිනවා වගේ.
දැන් මේ මහින්ද මහත්තයා එක්ක නැගිටින්න හදන කට්ටිය ගැන අපට නම් පේන්නේ මෝඩයෝ ටිකක්. මහින්ද රාජපක්ෂ මහත්තයා කියලා කියන්නෙ සුප්‍රසිද්ධ දේශපාලන ඩීල්කාරයෙක්. එතුමා දේශපාලන ඩීල් දාන්න හරි දක්ෂයි.
මේ කරන්නෙ ඒවගේ නාට්‍යයක්. එතුමාත් දන්නවා රාජ්‍ය මුදල්, රාජ්‍ය බලය පාවිච්චි කරලා මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයමත්, මුළු සන්ධානයමත් එකතු වෙලා ජනාධිපතිවරණය දිනන්න බැරි වෙච්ච එකේ, බලය නැති වුණායින් පස්සේ දවසින් දවස ජනාධිපතිවරණයේ දී ලබපු ඡන්ද ලක්ෂ 58ත් දියවෙන කොට අගමැති වෙනවා තියා ඡන්දේ ඉල්ලන එකවත් තේරුමක් නැති වැඩක් කියලා. එතුමා හදන්නේ මේ අයගේ ශක්තිය පාවිච්චි කරලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා එක්ක දේශපාලන ඩීල් එකකට සෙට් වෙන්න. නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය ශ්‍රී.ල.නි.ප. තුළ සුරක්ෂිත කරන්නයි"